වායු සමනය කරනලද මැදිරිවලින් යුතු ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියට පවතින ඉල්ලුම සමග වායු සමනය කළ මැදිරි සහිත නව දුම්රිය S 13 ඩීසල් බහු ඒකක ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
උඩරට මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා ආනයනය කරන ලද අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරිවලින් යුත් වායුසමනය කළ, ඩීසල් බහු ඒකක කට්ටල යොදා ගනිමින් ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර දුම්රිය සේවය සඳහා ඇති අධික ඉල්ලුම හා මහජනතාවගේ ආකර්ෂණය සලකා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, අඩි 65 ප්‍රමාණයේ වායු සමනය කළ මැදිරි සහිත නව දුම්රිය S 13 ඩීසල් බහු ඒකක ප්‍රසම්පාදනය කරගැනීමට අදාළව එළඹෙන ලද ගිවිසුමට අතිරේකව උතුරු දුම්රිය මාර්ගයේ සේවයේ යෙදවීම සඳහා වායුසමනය කළ S 13 ඩීසල් බහු ඒකක කට්ටල දෙකක් M/s. RITES සමාගමෙන් ලබා ගැනීමටත්, දැනට උතුරු මාර්ගයේ සේවයේ යොදවා ඇති අඩි 50 ක ප්‍රමාණයේ මැදිරිවලින් යුත් වායු සමනය කළ ඩීසල් බහු ඒකක කට්ටලය සංචාරකයින් අතර ඉහළ ආකර්ශණයක් සහ වැඩිවන ඉල්ලුමත් සහිත උඩරට මාර්ගයේ යෙදවීමටත් මෙහිදී වැඩිදුරටත් යෝජනා කර ඇත.