ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන බෝගයක් වන කුරුඳුවල අනන්‍යතාව යුරෝපා වෙළෙඳ පොළ තුළ තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූ ගෝලීය දර්ශකය යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටියි.
මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශ්වකරුවන් වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්රිත නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය යන පාර්ශ්ව සියල්ල ඒකාබද්ධව කටයුතු කරන බව සඳහන් වේ.
ලෝක වෙළෙඳ පොළට සැබෑ කුරුඳු සපයන ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ මෙරට කුරුඳුවල ඇති ඉහළ ගුණාත්මකභාව නිසා යැයිද, ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම, දේශගුණික හා පාංශු සාධක නිසා කුරුඳුවලට හිමිවන ආවේණික ලක්ෂණ මෙන්ම, කුරුඳු නිෂ්පාදනයේදී අනුගමනය කරන පාරම්පරික ක්‍රමවේදයන්ද මෙම සුවිශේෂීතාවට හේතුව බවද පැවසෙයි.
ලෝක වෙළෙඳ පොළෙහි කුරුඳු ඉල්ලුමෙන් 9.2%ක් ශ්‍රී ලංකාවෙන් සැපයෙන අතර, ඉතිරිය ආදේශක කුරුඳු මගින් සපුරා ගනු ලැබේ. මෙම ආදේශක කුරුඳු චීනය, ඉන්දුනිසියාව, වියට්නාමය වැනි ආසියාතික රටවලින් පැමිණෙයි. කුරුඳු සඳහා මිල අඩු ආදේශකයක් වන එම කැෂියා කුරුඳු ප්‍රභේදය නිතර භාවිතය ශරීරයට අහිතකර බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. ඒ කුරුඳුවල ඇති කුමරින් (Cumarin) නැමති අහිතකර රසායන ද්‍රව්‍යය ලංකා කුරුඳුවලට (0.02%) සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් (2%) අන්තර්ගත නිසා බවත් කියැවෙයි.
ලංකා කුරුඳුවලට ඇති ඉහළ මිල නිසා මෙම කැෂියා කුරුඳු ප්‍රභේදය ලංකා කුරුඳු නමින් විදේශ වෙළෙඳ පොළ තුළ අලෙවි කෙරෙන අතර, මෙම අවභාවිතය වළක්වා ගැනීම සඳහාත්, ලංකා කුරුඳුවල ප්‍රමිතිය හා අනන්‍යතාව තහවුරු කිරීම සඳහාත් ලංකා කුරුඳු භූ ගෝලීය දර්ශකය යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ යුතු බව අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.