මුදල් අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 නොවැම්බර් මස 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සිය සතුට පළකර තිබේ.
මෙම යෝජනා අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළ සංවර්ධනය කිරීම සඳහා පියවර කිහිපයක් ඇතුළත් වෙයි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2020 ජූලි 31 වැනි දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනලද නීති මගින් හඳුන්වා දුන් ශ්‍රී ලංකා දේපල වෙළෙඳාම් ආයෝජන භාර (REITS) ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස, අය වැය යෝජනාවල සඳහන් පරිදි REITS වල ආයෝජන ප්‍රාග්ධන ලාභ බදුවලින් සහ ලාභාංශ ආදායම් බදුවලින් නිදහස් කර ඇත. තවද, මුද්දර බද්ද 0.75%ක් දක්වා අඩු කිරීමට නියමිත අතර, කර්මාන්තයේ නියැලී සිටින පාර්ශ්වකරුවන් විසින් එම මුද්දර බද්ද ශ්‍රී ලංකා දේපොළ ආයෝජන භාර පිහිටුවීමට බාධාවක් ලෙස වටහාගෙන තිබුණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විශ්වාස කරනුයේ මෙම යෝජනාව මගින් රට තුළ දේපොළ ආයෝජන භාර ස්ථාපිත කිරීමට විශාල රුකුලක් වනු ඇති බවය.
මීට අමතරව, කොළඹ කොටස් වෙළෙඳ පොළ (CSE) තුළ දේශීය සමාගම්වල නව ලැයිස්තුගත කිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා 2021 දෙසැම්බර් 31 වැනි දිනට පෙර ලැයිස්තුගත කෙරෙන සමාගම් වලට 2021/2022 වසර සඳහා 50%ක බදු සහනයක් ලබාදීම වැනි ඇතැම් ප්‍රධාන යෝජනා රජය විසින් ඉදිරිපත් කර ඇත. පසුගිය වසර කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත වූ සමාගම් සංඛ්‍යාවෙහි ඉහළ යාමක් දක්නට නොලැබුණු අතර, වෙළෙඳ පොළ ද්‍රවශීලතාවය පහළ මට්ටමක පැවතීමට හා සාපේක්ෂව විශාලත්වය කුඩා අගයක් ගැනීමට එය හේතු වී ඇත. මෙම නව යෝජනාව නව ලැයිස්තුගත කිරීම් සඳහා පෙළඹවීමක් වනු ඇත.
ප්රාග්ධනය භාවිත කරන්නන් මෙන්ම ප්රාග්ධනය සපයන්නන් යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් විය හැකි ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳ පොළක් ඇති කිරීමට අවකාශ සැලසෙන මෙම ක්‍රියාකාරකම්වලට මූලිකත්වය ගෙන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ රාජ්‍ය අමාත්‍යවරයාට, ජනාධිපති ලේකම්වරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ස්තුතිය පුද කිරීමටද සභාපතිවරයා මෙය අවස්ථාවක් කරගෙන තිබේ.මෙම උත්සාහයන් තුළින් වෙළෙඳ පොළ ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් වන අතර, ශ්‍රී ලංකාවේ සමාගම් වලට අවශ්‍ය ප්රාග්ධනය රැස්කර ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බව නිසැකවම කිව හැකි බවද අවධාරණය කරයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් 2019 වසරට සාපේක්ෂව සමස්ත වෙළෙඳ පොළ පිරිවැටුමේ 80%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, දෛනික සාමාන්‍ය පිරිවැටුමද දෙගුණ වී තිබේ. මේ පිළිබඳව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, "2020 සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුව ගත් පියවර නිසා රටේ වර්තමාන තත්ත්වය මධ්‍යයේ කොටස් වෙළෙඳ පොළ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි වී තිබෙනවා. වෙළෙඳ පොළ පූර්ණ වශයෙන් ඩිජිටල්කරණයට පහසුකම් සැලසීම සඳහා ලබාදුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ප්‍රාග්ධන වෙළෙඳ පොළ කර්මාන්තයේ නියුතු සියලුම පාර්ශ්වකරුවන්ට, විශේෂයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළට සහ කොටස් තැරැව්කාර ප්රාජාවට මාගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමතියි." යනුවෙන් පවසා සිටියේය.