පරිසර හිතකාමී නොවන විවිධ ව්‍යාපෘති යෝජනා මෙරට ස්ථාපනය කිරීම සඳහා අයැදුම්පත් ලැබුණත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ සියල්ල එකහෙලාම ප්‍රතික්ෂේප කරන්නේ යැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා පවසයි.
හෙතෙම මෙම අදහස් පළ කර ඇත්තේ හොරණ වගවත්ත ප්‍රදේශයේ ඉදි කරමින් පවතින රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේදී පසුගියදා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල්වරයා,
"ජපානයේ පාවිච්චි කළ ලැප්ටොප්, පරිගණක, විදුලි උපකරණ චීනයට ගෙන ගොස් නැවත සකස්කර වෙළෙඳ පොළට බෙදාහැරීමේ ව්‍යාපෘතියක් පැවැතියා. චීන ජනාධිපතිවරයා ඒ ව්‍යාපෘතිය තහනම් කළා. පසුව එම ව්‍යාපෘතිය මෙරටට රැගෙන ඒමට උත්සාහ කළා. මා එකහෙලාම එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මට විවිධ බලපෑම් ආවත්, රැකියාවේ අවධානයද ගනිමින් ඊට අවසරය නොදීමට කටයුතු කළා" යැයි පවසා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, කර්මාන්ත ශාලාවේ පාලක මණ්ඩලය හා නිලධාරීන්, ගම්වාසීන් නියෝජනය කරමින් පූජ්‍ය පක්ෂය, පරිසර සංවිධාන, දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
ගම්වාසීන් වෙනුවෙන් සහභාගී වූ නියෝජිතයන් අදහස් දක්වමින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් සැබවින්ම සතුටට පත්වන බව පැවසුවත්, ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදී භාවිත කිරීමට යෝජිත ගල් අඟුරු බලශක්ති ප්රභවය සම්බන්ධව සිය විරෝධතාව පළකරන බව සඳහන් කර තිබේ.
රිජිඩ් ටයර් කර්මාන්ත ශාලාවේ සභාපති නන්දන ලොකුවිතාන මහතා එහිදී සඳහන් කර ඇත්තේ, කම්හල සම්පූර්ණයෙන් දර භාවිත කරමින් පවත්වා ගෙන යන බවත්, දර නොමැතිකම හෝ කුමන හෝ විකල්පයක් අවශ්‍ය වූ විට පමණක් ගල්අඟුරු බල ශක්ති ප්‍රභවයක් ලෙස ඒ සඳහා යොදා ගැනීමට අදහස් කරන බවත්ය.
එහිදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම ව්‍යාපෘතිය රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වන ව්‍යාපෘතියක් බවත්, ඔවුන් මෙම සුවිශාල කම්හල සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට අදහස් කරන බවත් සඳහන් කළේය. ඒ සියල්ල පරිසර හිතකාමී නවීන යන්ත්‍ර සූත්‍ර වන අතර, මෙහි නිෂ්පාදන යුරෝපීය හා ඇමරිකානු වෙළෙඳ පොළ වෙත අපනයනය කරන බවත් හෙතෙම පවසා සිටියේය. එමෙන්ම, ජාත්‍යන්තර පරිසර ප්‍රමිතීන්ට අහිතකර කිසිදු නිෂ්පාදනයක් එම රටවල් විසින් මිලදී නොගැනීමට දැනටමත් නීති සකස් කර අවසන් බවත්, ඒ නිසා රිජිඩ් කම්හල ගෝලීය වශයෙන් අනුමත වී ඇති පරිසර නීතීන්ට අනුගතවීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම අවධාරණය කළේය.
"අපේ රටට මෙතරම් විශාල ආයෝජනයක් පැමිණි පළමු වැනි අවස්ථාව. මේ තුළින් සෘජු රැකියා 3,000ක් ජනිත වෙනවා. වක්‍ර රැකියා 9,000කට වැඩි ප්‍රමාණයක් එමගින් ජනිත වීමට යෝජිතයි. මෙමගින් දිස්ත්‍රික්කයේම සුවිශාල සංවර්ධනයක් සිදුවෙනවා. මාර්ග පුළුල් වෙනවා. මේ ව්‍යාපෘතියට අවශ්‍ය ජලය ලබාගැනීම කළුගඟ හරහා සිදුවෙනවා. මේ කම්හල නිසා ජනතාවගේ ජල අවශ්‍යතාවන්ට ගැටළු ඇතිවන්නේ නැහැ. පවුල් 400ක් පදිංචි විය හැකි සේවක නිවාස පද්ධතියක් ඉදිවෙනවා. තවත් 1,000කට නවාතැන් ගත හැකි නේවාසිකාගාර ඉදිවෙනවා. මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයකට ලක්වෙනවා" යැයි ආරියසිංහ මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.
අක්කර 100ක වපසරියක ඉදිවෙන මෙම ව්‍යාපෘතිය වටා මීටර් 30ක ප්‍රමාණයක් හරිත පාරිසරික පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් වෙයි. එමෙන්ම, කම්හල් පරිශ්‍රයේ මිරිදිය මත්ස්‍ය පොකුණක් පවත්වාගෙන යාම තුළින් පාරිසරික තත්ත්වයන්වල සිදුවන සියුම් විචල්‍යයන් හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බවද පෙන්වා දෙයි.
මෙම අවස්ථාවට පූජ්‍ය වඩුවන්වෙල සාරානන්ද හිමියන්, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු නාගරික මන්ත්‍රීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී, ප්‍රාදේශීය ලේකම්, පරිසර සංවර්ධන නියෝජිතයන්, රජයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබේ.