මෙම සම්මේලනයේදී සිදුවන සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් පාර්ශ්වකරුවන්ට හා පාරිභෝගිකයන්ට ඉහළ ප්රතිලාභ අත්විය යුතු බවත්, සිය ඉලක්කය ඔවුනට සපුරාගත හැකි වන්නේ සියලු පාර්ශ්ව අතර ඇතිවන එකමුතුවක් තුළින් පමණක් බවත් ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ලෑව මහතා පවසා සිටියේය.
හෙතෙම මෙසේ අදහස් දක්වා සිටියේ ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ (SLAAJ) ප්‍රථම සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේදී කොළඹදී පැවති අවස්ථාවේදීය.
මෙම සම්මේලනය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක, හිටපු තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ වැලිබල් වන් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙන්ම, ඉහළ පෙළෙහි රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙහිදී, මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ වාහන අපනයනකරුවන්, ආනයනකරුවන් සහ ශ්‍රී ලංකා රජය යන පාර්ශ්ව තුනම එක්කර ගැනීමත්, ඒ ඔස්සේ කර්මාන්තයේ ගැටලු හා බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය අන්තර් සම්බන්ධය උදෙසාත් විසඳුම් සාකච්ඡා කෙරිණි.
ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ලෑව මහතා අදහස් දක්වමින්, "ශ්‍රී ලංකාව වෙත වාහන අපනයනයේදී අප මුහුණදෙන ප්‍රධානතම ගැටළුව මේ කර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන් හා අනෙකුත් අදාළ ආයතන සමග විශාල සම්බන්ධීකරණයක් සිදුකිරීමට අවශ්‍ය වීමයි. මේ නිසා වාහන අලෙවි නියෝජිතයන් සහ අනෙකුත් පාර්ශ්ව සමග අන්තර් සම්බන්ධතා ඇති කිරීම සඳහා සුදුසු වැඩසටහන් හරහා වෙළෙඳ සබඳතා වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් අප යොමු කරනවා.
මේ සම්මේලනයේදී සිදුවන සාකච්ඡාවේ ප්‍රතිඵල වශයෙන් පාර්ශ්වකරුවන්ට හා පාරිභෝගිකයන්ට ඉහළ ප්රතිලාභ අත්විය යුතුයි. අපගේ ඉලක්කය අපට සපුරාගත හැකි වන්නේ සියලු පාර්ශ්ව අතර ඇතිවන එකමුතුවක් තුළින් පමණයි" යනුවෙන් පවසා සිටියේය.
ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සංකල්පය පෙරදැරිව වර්ෂ 2012 දී 70කට අධික අපනයනකරුවන් පිරිසකගෙන් මෙම සංගමයේ ආරම්භය සිදුව ඇත. ඒ මහතාගේ අභිප්‍රාය වී ඇත්තේ විසිරී සිටි ශ්‍රී ලාංකේය අපනයනකරුවන් එක් වේදිකාවකට ගෙනැවිත් ඉහළ ප්‍රමිතියකින් යුතු, විධිමත්භාවයක් මෙම කර්මාන්තය තුළ ඇති කිරීමය. ඒ අනුව, ලාභ නොලබන සංවිධානයක් ලෙස අද වනවිට ඉහළ සක්රීයත්වයකට හිමිකම් කියන SLAAJ සංවිධානය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සමීපව කටයුතු කරනු ලබයි.
ආරම්භයේ සිටම SLAAJ සංගමය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඒකාබද්ධ වෙළෙඳ වැඩසටහන්, හඳුන්වාදීමේ වැඩසටහන්, රථ වාහන අමතර කොටස් හා අනෙකුත් ව්‍යාපාර, වාහන අලෙවිකරුවන් හා අනෙකුත් පාර්ශ්ව අතර සම්බන්ධතා ගොඩනැගීම්, අදාළ රෙගුලාසි සම්බන්ධව සහ ශ්‍රී ලංකා රජය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර සංවිධාන සමග තිබූ අනෙකුත් ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගැනීම ආදී කටයුතු සිදුකර ඇත.
මෙහිදී, අදහස් දක්වමින් කොබේ මෝටර් සමාගමේ සභාපති උමර් අලි මහතා අදහස් දක්වමින්, "නිරන්තර ප්‍රතිපත්ති වෙනස්වීම් අපනයනකරුවන් හා ආනයනකරුවන් මුහුණදෙන වෙළෙඳ පාඩු, නැව්ගත කිරීම් ප්‍රමාදවීම ආදිය නැවත ගණනය කිරීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ෙම් නිසා මෙහි ප්‍රධාන පාර්ශ්ව දෙක වන වාහන අපනයනකරුවන්ගේ සංගමය හා ආනයනකරුවන්ගේ සංගමය එක්ව තම ගැටලු පිළිබඳ හඬ නැගීම තුළින් ප්‍රතිපත්ති සම්පාදකයන් සුවිශේෂී පහසුවක් අත්වෙනවා" යැයි පවසා සිටියේය.
තවද, මෙහිදී 'SLAAJ Guarantee' නම් ස්ටිකරය හඳුන්වාදීමද සිදුවිය. ඉන් ජපානයේ සිට මෙරටට අපනයනය කෙරෙන රථ වාහන පාරිභෝගිකයා වෙත ලැබීමේදී නිසි ප්‍රමිතිය සහතික කිරීමක් සිදුවනු ඇති බව කියයි. මෙම සම්මේලනයට පෙරාතුව විදේශ කටයුතු අමාත්‍යාංශය, ආනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය යනාදී ආයතනයන්හි ඉහළ පෙළෙහි නිලධාරීන් සහභාගී වූ සාකච්ඡා සැසිවාරයක්ද පැවැත්විණි.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ