සියවසකට අධික කාලයක් තුළ සමස්තම ලෝකයම මුහුණ දුන් දරුණුතම අභියෝගය හමුවේ වුවද 2020 වසරේ දීත් චීනය අඛණ්ඩ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නට සමත් විය. වසර 2035 වනවිට ප්‍රමුඛතම සංවර්ධිත රාජ්‍ය බවට චීනය පත්වන බවට දැනටමත් පුරෝකථනය කර හමාරය. ශ්‍රී ලංකාව දෙස බැලීමේදී අප මේ වනවිට ඉහළ මැදි ආදායම් උගුලේ සිර වී ඇත. පවත්වාගෙන යනු ලබන ආර්ථික වර්ධන වේගය අනුව මේ අයුරින් මෙරට ආර්ථිකය ගමන් කරන්නේ නම් තවත් දශක හතරකින්වත් සංවර්ධිත ඉලක්කය කරා අපට යා නොහැක.
රටක් සංවර්ධනය කරා ගමන් කිරීමේදී කාලානුරූපීව ඒ සඳහා වන නිර්ණායකයන්ද වෙනස් වේ. උදාහරණයක් ලෙස සිංගප්පූරුව හා දකුණු කොරියාව වැනි රටවල් කලින් කලට ඔවුන්ගේ අධ්‍යාපන අංශයේ විශාල ප්රසංස්කරණයන් සිදු කළේය. පවතින ගෝලීය ආර්ථිකයේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස අධ්‍යාපනයද විශාල ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට ඔවුහු වග බලා ගත්හ.
කලාපයේ ඉහළ සාක්ෂරතාවයෙන් හෙබි රටක් ලෙස මෙරට තරුණ ශ්‍රම බලකාය වෙළෙඳ පොළ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සවිබල ගන්වා ඇත්දැයි විමසා බැලිය යුතුය. නව රජයේ ආර්ථික උපාය මාර්ගය වී ඇත්තේ නිෂ්පාදන හා අපනයනය මුල් කරගත් ආර්ථික වැඩපිළිවෙළකි. මිට අමතරව තොරතුරු තාක්ෂණ දැනුම මුල් කරගත් දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ වැඩපිළිවෙළක් ගැනද කියැවේ. නමුදු රජයේ මෙම වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට මෙරට අධ්‍යාපන පද්ධතිය (පාසල් විශ්වවිද්‍යාල හා වෘත්තීය පුහුණු) තවදුරටත් සූදානම්ද යන්න ප්රශ්නයකි.
තවමත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් සමාජගත වන උපාධිධාරීන්ගෙන් වැඩි පිරිසක් ප්රසාංගික කලාව, කලා හා කළමනාකරණ යන අංශයන් හි උපාධිධාරීන්ය. විද්‍යාව, තාක්ෂණවේදය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය යන අංශයන්ගෙන් සමාජයට එක් වන පිරිස ඉතාම අල්පය. එසේම ජාත්‍යන්තරය සමග ගනුදෙනු කළ හැකි ඉංග්‍රීස් හෝ වෙනත් ජාත්‍යන්තර භාෂා නිපුනතාවයෙන් හෙබි පිරිසද අවමය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා මේ පිළිබදව අදහස් දක්වමින්, "ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මේ වනවිටත් මෙරට ශ්‍රම බලකායේ ලක්ෂ 5කට අධික පිරිසකට සෘජු රැකියා අවස්ථා ජනිත කර තිබෙනවා. වක්‍ර රැකියා මීට වඩා විශාලයි. එසේම අපගේ ආයෝජන ප්‍රවර්ධන කලාප තුල විශාල රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් පවතිනවා. ඒ වගේම මේ වනවිට නව ආයෝජන උපායමාර්ග පිළිබදව අපගේ අවධානය යොමු වී තිබෙනවා. මේ සියලු දේ සඳහා නිපුනතාවයෙන් සවිමත් ශ්‍රමිකයන් අවශ්‍යයි. අධ්‍යාපන පද්ධතිය තුළින් මෙවැනි වෘත්තීයවේදීන් සකස් කළ යුතුයි. මෙය ආයෝජන ආකර්ෂණයට බාධා පමුණුවනවා. විදේශ ශ්‍රමිකයන් සඳහා දොරටු විවෘත වෙනවා." යැයි පවසා සිටියේය.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අදහස් දක්වමින්, "සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සමාජීය හා මානව ප්‍රාග්ධන සංවර්ධන අංශයන්හි ඉලක්ක සපුරාලීරට අප සමත් වි තිබෙනවා. නමුත් වේගවත් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමේදී මෙරට ශ්‍රම බලකාය ප්‍රමාණවත් තරම් සුදුසුකම් සපුරා ඇත්දැයි සොයා බැලිය යුතුයි. දේශිය හා ගෝලීය ශ්‍රම වෙළෙඳ පොළ නිපුණතා ඉල්ලුම හා අනුරූපව මෙරට අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන වී ඇත්දැයි විමසා බැලිය යුතුයි.
ආකල්පමය වශයෙන්ද අප තවමත් පසුපසින් සිටිනවා. සියලු දෙනා රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු වෙනවා. නැත්නම් පුද්ගලික අංශයේ කාර්යාලීය රැකියාවක් සොයනවා. එහෙත් රට තුළ නිෂ්පාදන, ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතිනවා. මේ සදහා ප්‍රමාණවත් ශ්‍රමිකයන් නොමැති වීම බරපතල ගැටළුවක්. එය රටේ ඉදිරි සංවර්ධනයට විශාල බාධාවක් වී තිබෙනවා. එසේම දේශගුණික හා අනෙකුත් හේතු නිසා ගෝලීය නිෂ්පාදන වෙනස් වෙනවා. ඒ හා සමානව ඉල්ලුමද දෝලනය වෙනවා. එම අවශ්‍යතා හදුනාගනිමින් මෙරට තුල රැකියා උත්පාදනය හා ශ්‍රම බලකායේ නිපුණතා වැඩි දියුණු කළ යුතුව තිබෙනවා. තාක්ෂණයේ ඉදිරි වෙනස හඳුනා ගනිමින් ඊට ගැළපෙන රැකියා උත්පාදනය හා පුහුණු ශ්‍රමික වෙළෙඳ පොළ සකස් විය යුතු බව මගේ විශ්වාසයයි. කලාපයේ සාක්ෂරතාවයෙන් ඉහළ තරුණ පිරිසක් වෙසෙන රටක් ලෙස නව රැකියා අවස්ථා ග්‍රහණය කර ගැනීමට ඉඩ සැලැස්විය යුතුයි.
එසේම අගනුවරින් බැහැර ප්‍රදේශවල පිහිටුවන නව ආයෝජන කලාප තුළ නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහිවනු ඇති. විවිධ ක්ෂේත්‍ර මුල් කර ගනිමින් ගොඩනැගෙන මෙම කලාප තුළ නිපුනතා ඉල්ලුම සපුරාලීමට සමත් ශ්‍රම බලකායක් සිටිය යුතුයි. නිෂ්පාදන අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී සෑම ක්ෂේත්රයක් සඳහාම නිපුණතාවයෙන් හෙබි පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සිදුවිය යුතු සේම, විවිධ රැකියා කෙරෙහි සමාජය තුළ පවතින පටු ආකල්ප දුරලීමටත් වැඩපිළිවලක් සකස් විය යුතුයි. රැකියාවේ සුරක්ෂිතභාවය, පුද්ගල ආරක්ෂාව, ආර්ථික ශක්තිය දෙසද ගෝලීය ප්රවණතාවයන් හා සසඳමින් බැලිය යුතු කාලය එලැඹ තිබෙනවා." යැයි පවසා සිටියේය.