නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේදී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබීම මීට හේතුවයි.
එහෙයින් පවතින නීතිරීති සරල කර ජනතාව මුහුණ දෙන ගැටලු හැකි උපරිමයෙන් අවම කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි නිලධාරින් සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.
සැලසුම් අනුමැතිය සඳහා පළාත් පාලන ආයතන වෙත බලතල ලබාදීම සහ සෙසු ආයතන කඩිනමින් ඊට අදාළ ප්‍රතිපාදන සැකසීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද උපදෙස් දී තිබුණි.
දැනට අනුමත නොකළ සැලසුම් අනුමත කිරීම සම්බන්ධව නීතිය පිළිබඳ දැනුමක් ඇති නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. අනුකූලතා සහතිකය දිනකදී ලබාදීම අනිවාර්ය කෙරිණි.
ජාතික භෞතික සැලැස්ම යාවත්කාලීන කිරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය. පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක්විණි.
සැලසුම් අනුමත කිරීමේ දී එකම නීතිය ක්‍රියාත්මක නොකොට භූ විෂමතා සැලකිල්ලට ගෙන නිර්දේශයන් ලබාදීම කෙරෙහි ද අවධානයට ගැනුණි. පළාත් සහ ප්‍රදේශ අනුව පවතින ආයෝජන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා වූ අනුමැතින් රාජ්‍ය ආයතන මගින්ම සිදු කර ආයෝජන මණ්ඩලයට දැනුම්දීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමගින් විදෙස් ආයෝජකයින් දිරි ගැන්වෙන අතර, සිය ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමටද අවස්ථාව උදාවනු ඇත.