ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 48ක පුරවැසියන්ට මාස 6ක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ වීසා බලපත්‍ර ලබාදීම දේශීය සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෝටල්, සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක නියෝජිතයන් සහ සංචාරක කර්මාන්තයේ හවුල්කරුවන් රැසක් සමග කටයුතු කරමින් මෙරට සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා වන ගෝලීය මූලාරම්භයන් රැසක් දැනටමත් ගෙන ඇති බවද ඔවුන් පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් 48ක, ගමනාන්ත 111ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරන අතර, වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස රටවල් 160ක ගමනාන්ත 1,000ක් දක්වා පියාසර කිරීමේ පහසුකම් ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට හිමිවන බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.