ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ්, හම්බන්තොට ජාත්‍යන්තර වරායේදී සිය අති නවීන LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ලාෆ්ස් මැරිටයිම් සමාගමට හිමි LPG නෞකාවලින් එකක් වන ශ්‍රී ලාංකේය ධජය සහිත Gas Success නෞකාව මගින් රැගෙන ආ LPG නෞභාරය සමග මෙම දකුණු ආසියාවේ විශාලතම LPG අන්තර්නැව්ගත කිරීමේ පර්යන්තයේ මෙහෙයුම් කටයුතු දියත් කර ඇත.
පෙරඅපර දෙදිග ප්‍රධාන ජාත්‍යන්තර සමුද්‍ර වෙළෙඳ මාර්ග කේන්ද්‍ර කර පිහිටි මෙම නව ලාෆ්ස් LPG පර්යන්තය ඉන්දියානු සාගර කලාපයේ අතිශය වැදගත් බලශක්ති සැපයුම් කේන්ද්‍රස්ථානයක් වනු ඇත. ඒ අනුව, මෙම ප්‍රථම LPG නෞභාරය ලාෆ්ස් LPG පර්යන්තය වෙත නිදහස් කිරීම, ලාෆ්ස් සභෘපති ඩබ්.කේ.එච්.වෑගපිටිය, ලාෆ්ස් සමූහ කළමනාකාර අධ්යක්ෂ තිලක් ද සිල්වා සහ හම්බන්තොට නැෂනල් පෝර්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් යන මහත්වරුන් විසින් සිදුකර තිබේ. එමෙන්ම, මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ ප්‍රධාන විධායක නිලධෘරී කපිතාන් රවී ජයවික්‍රම, ලාෆ්ස් මැරිටයිම් අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධෘරී ආචාර්ය ලෙස්ලි හේමචන්ද්‍ර සහ ලාෆ්ස් ටර්මිනල්ස් අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආනන්ද ප්‍රේමචන්ද්‍ර හා සාමාන්‍යාධිකාරී හෙෂාන් ද සිල්වා යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
ඇ.ඩො.මිලියන 500ක වාර්ෂික අපනයන වටිනාකමක් අපේක්ෂිත මෙට්‍රික් ටොන් 30,000කින් යුතු LPG පර්යන්තය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ආශ්‍රිතව කරන ලද විශාල ආයෝජනයක් බව ඔවුහු පෙන්වා දෙති. මෙය මෙරට ප්‍රථම වතාවට හම්බන්තොට සහ කොළඹ වරායන් අතර වෙරළාශ්‍රිත නාවික ප්‍රවාහන සහ සැපයුම් සේවා සඳහාද මුලපිරීමක් වනු ඇති බව කියැවේ. එමෙන්ම, මෙම පර්යන්ත මෙහෙයුම් කටයුතු ආශ්රිත කර්මාන්ත ගණනාවක වර්ධනයට ඉවහල් වනු ඇති අතර, රැකියා අවස්ථා බිහිකිරීම සහ ආදායම් ඉපැයීමේ අවස්ථාව උදාකරදීම යනාදී වශයෙන් මෙරටට ප්රතිලාභ රැසක් මෙමගින් අත්කර දෙනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම, LPG ක්ෂේත්රයේ කලාපීය වර්ධනයට තවදුරටත් උදරදෙමින් මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර සැලසුම් කර ඇත්තේ මෙට්‍රික් ටොන් 45,000ක් දක්වා වැඩි කිරීමටය. එමගින් මුළු ව්‍යාපෘති ආයෝජනය ඇ.ඩො.මිලියන 85ක් බවට පත්වනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.