තේ අපනයනකරුවන්ගේ සංගමයේ 20 වැනි සම්මේලනය 'ශ්රී ලාංකේය තේ කර්මාන්තයට අභියෝගාත්මක කාලයක්' යන තේමාවෙන් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය.
ශ්රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතාගේ ප්රධානත්වයෙන් පැවති සම්මේලනයේ, ආරාධිත දේශනය හේලීස් ලෙෂර් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රොහාන් කාර් මහතා විසින් පවත්වන ලදී.
මෙහිදී, කර්මාන්තය තුළ ප්රමුඛ කාර්යයක් කරමින් කැපී පෙනෙන නිෂ්පාදන කාර්යයක නිරත වූ නිෂ්පාදකයන් අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයට පාත්ර වීමද සිදුවිය.
ශ්රී ලංකාව 2019 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ තේ කි.ග්රෑ.මිලියන 184ක් නිෂ්පාදනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා කි.ග්රෑ.මිලියන 1.9ක වර්ධනයකි. මීට අමතරව, 2019 අපනයන වාර්තාවන්ට අනුව මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා තේ කි.ග්රෑ. මිලියන170ක ප්රමාණයක් අපනයනය කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා කි.ග්රෑ.මිලියන 7.3ක වර්ධනයකි. මෙම කාලය තුළ රු.බිලියන 141.4ක ආදායමක් ලබා ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා රු.බිලියන 7.6ක වර්ධනයකි.