කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ජනපතිගේ නියමයෙන් ජනතාවට ලබාදුන් සහන රැස අතර තමන් සඳහා සහනයක් නොමැති බව ජාතික සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම වෛරසයේ ව්‍යාප්තිය හරහා දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත්තේ සිය වෘත්තියේ නියැලෙන පිරිස් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ ලේකම් ඩොනල්ඩ් රාජපක්ෂ මහතා, සංචාරක කර්මාන්තය වෙනුවෙන් මෝටර් රථ මිලදී ගෙන සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්ය වෘත්තියේ මෙන්ම සෆාරි සේවා සැලසීමේද නිරත 30,000කට ආසන්න පිරිසක් සිටින බවත් ජනපතිවරයාගේ මෙම සහන එම පිරිසට හිමිව නොමැති බවත් පවසා සිටියි.
"ලංකාවේ සංචාරක කර්මාන්තයේ වාහන පාවිච්චි කරන ප්‍රධාන වෘත්තිකයෝ 20,000 ක් විතර ඉන්නවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්රයද ඇතුළුව සෆාරි ජීප් පහසුකම් සලස පිරිසත් එක්ක එය 30,000කට ආසන්න වෙනවා. ඒ අතරින් ජාතික සංචාරක මාර්ගෝපදේශකයන් සහ සෝෆා ගයිඩ්වරුන් 12,000ක් විතර ඉන්නවා."
මෙහිදී ඔවුන් සියලු දෙනාම මෙම මෝටර් රථ මිලදී ගෙන ඇත්තේ ලීසිං හරහා බවත්, මේ කොරෝනා ගැටලුව නිසා එම ලීසිං ගෙවීමත් ඔවුන්ට දැන් ගැටලුවක් වී ඇති බවත් රාජපක්ෂ මහතා පවසයි. එසේම මෙම ප්‍රශ්න කෙදිනක නිරාකරණය වී සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වේද යන්නද අවිනිශ්චිත බවත් හෙතෙම සඳහන් කරයි.
"ඒත් ජනාධිපතිතුමා මේ සහනයේදී ලීසිං සහනය ලබා දීලා තියෙන්නේ ත්‍රීරෝද රථ සඳහා පමණයි. එහි සංචාරක ව්‍යාපාරය ගැන සඳහන් වුණත්, මේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සහ සෝෆා ගයිඩ්වරුන්ගේ ලීසිං ගැටලුවලට මෙතැනදී පිළිතුරු ලැබිලා නැහැ." රාජපක්ෂ මහතා පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්තුමිය වෙත කරුණු දන්වා ඇති බවත්, ඒ හරහා හෝ ගැටලුවට යම් පිළියමක් බලාපොරොත්තු වන බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.