ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), 'IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණය 2019' පසුගියදා ප්‍රකාශයට පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) ශ්‍රම බලකායේ වපසරිය සහ සංයුතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමත්, එමගින් මෙරට ශ්‍රම බලකාය සහ පුහුණු වෘත්තිකයන්ගේ සැපයුම සංසන්දනය කිරීමත් මෙම සමීක්ෂණයේ මූලික අරමුණු වී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට ආයෝජන ආකර්ෂණය කරගැනීම, විදේශ විනිමය ඉපැයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම හරහා මෙරට ආර්ථිකය නැංවීම සඳහා පුළුල් හැකියාවක් පවතින බව ICTA විශ්වාසය පළ කරයි.
වර්ෂ 2022 වනවිට මෙරට ශ්‍රම බලකායේ 200,000ක ඉලක්කය සපුරාගැනීම මූලික අරමුණ කර ගනිමින් මෙම සමීක්ෂණය මෙවර සිදුකර තිබුණේ පස්වැනි වරටය. සමස්තයක් ලෙස මෙරට ICT ශ්‍රම බලකායේ ශීඝ්‍ර වර්ධනයක්ද එම ක්ෂේත්රයේ කාන්තා නියෝජනයේ කැපී පෙනෙන වර්ධනයක්ද පවතින බව සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත. මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ICTA ආයතනය, ICT ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම හරහා රජයේ ICT අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව නිර්මාණශීලී දැනුම් කේන්ද්‍රීය සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකර ඇති බව ඔවුහු පවසති.
ඒ අනුව, 'IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව' ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේදී 2019 අගෝස්තු මස 6 වැනිදා ප්‍රකාශයට පත්කෙරුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා, ICTA ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව යන මහත්වරුන් මෙහිදී සිය අදහස් පළ කළහ.
ICT සමාගම්, BPM සමාගම්, ICT නොවන සමාගම්, රාජ්‍ය ආයතන, අධ්‍යාපන ආයතන ආවරණය කරමින් සිදුකෙරුණු මෙම සමීක්ෂණය මගින් ශ්‍රම බලකායේ ශක්තිය, ස්ත්‍රී/පුරුෂ සංයුතිය, ඉල්ලුම සහ සැපයුම අතර පරතරය, කුසලතා පරතරය සහ ශ්‍රී ලංකාවේ සමස්ත ICT ශ්‍රම බලකා සැපයුම පිළිබඳ මනා අවබෝධයක් ලබාදී තිබේ. සමීක්ෂණ වාර්තාවන්ට අනුව 2014 වසරේදී 82,854ක් ලෙස වාර්තා වූ සමස්ත ශ්‍රම බලකාය 2018 වසරේදී 124,873ක් ලෙස වාර්තා වූ අතර එය 50.7%ක වර්ධනයකි. එම අගය 2019 වසරේදී 146,089ක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි අනුමාන කර තිබේ. 2010 වසරේදී 21%ක් වූ සමස්ත ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 2013 වසරේදී 29.7%ක් ලෙසද, 2018 වසරේදී 34%ක් ලෙසද වර්ධනය වී ඇත. ICT ක්ෂේත්රයේ නියැලී සිටින ශ්‍රම බලකායෙන් 93%ක් වයස අවුරුදු 45ට අඩු වයසේ පසුවන්නන් බවත්, 80%ක පිරිසකගේ රැකියා අත්දැකීම් වසර 8කට අඩු බවත් සමීක්ෂණය පෙන්වා දෙයි. ඊට අමතරව, නැගීඑන තාක්ෂණික අංශ ඔස්සේ රැකියාව කරන ශ්‍රම බලකායෙන් 92%ක ප්‍රතිශතයක් නියෝජනය කරනුයේ ICT සමාගම් වන අතර, එය මෙරට ICT ක්ෂේත්රයේ උන්නතිය සඳහා විශාල රුකුලක් බව පෙන්වා දෙති. තවද, ICT ශ්‍රම බලකායේ 64.2%ක පිරිසක් සාමාන්‍ය උපාධිධාරීන් වන අතර, ඒ අතරින් 69%ක් පිරිමි ශ්‍රමිකයන් වෙයි. ඉන් 30.3%ක් කාන්තා ශ්රමිකයන්ය. මෙම ක්ෂේත්රයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා මට්ටමේ ඉහළම ප්‍රතිශතය වන 35%ක් කාන්තා ශ්‍රමිකයන්ට හිමි වී තිබීමද මෙරට ICT ශ්‍රම බලකායේ ප්‍රමිතිය සහ අධ්‍යාපන මට්ටමට මැනවින් සාක්ෂි දරන බව ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.