පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවත් සමග විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාව ගැන තවදුරටත් විශ්වාසයක් නොතබනු ඇති බවත්, ලෝකය තුළ සහ රට අභ්‍යන්තරයේ ශ්‍රී ලංකාව ගැන විශ්වාසය ගොඩනැගීමට නම් දැන්වත් ඉතා ඉක්මන් තීන්දු තීරණ ගත යුතු බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ අත්හැර යෑම ආරම්භ වෙලා
"කොළඹ කොටස් වෙළෙඳ පොළ මෑත කාලීන ඉතිහාසයේ ලොකුම කඩා වැටීම කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ වීමත් සමග පසුගිය අප්‍රේල් 23 වැනිදා සිදුවුණා. පාස්කු ඉරිදා මෙරට කිතුණු දේවස්ථාන සහ ප්‍රධාන සංචාරක හෝටල් ඉලක්ක කරමින් එල්ල වූ අති දරුණු ත්‍රස්ත ප්‍රහාරයත් සමග, විදේශීය ආයෝජකයන් විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළ අත්හැර යෑමට පටන් ගැනීම මීට හේතුවයි. මීට පෙර, පසුගිය කාලය පුරාවටත් කොටස් වෙළෙඳ පොළෙහි දරුණු කඩා වැටීමක් සිදුවන ආකාරය අප දුටුවත්, අප්‍රේල් 23දා කොළඹ කොටස් වෙළෙඳ පොළේ දුටු තත්ත්වය අතිශය දරුණුයි. මේ වර්තමාන සිදුවීම් මාලාවත් සමග විදේශීය ආයෝජකයන් අප ගැන තවදුරටත් විශ්වාසයක් නොතබනු ඇතැයි කියන දේ අපට පෙනෙනවා. මෙය බොහොම දරුණු ලෙස අපේ ආර්ථිකයට බලපානු ඇති.
විදේශ ආයෝජකයන්ගේ උනන්දුවට මෙය දරුණු බලපෑමක්
අවුරුදු නිවාඩුව ගෙවී දිනක ප්‍රමාදයකින් පසුගිය අප්‍රේල් 23දා කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවලදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,402ක් දක්වා, 3.63%ක කඩා වැටීමක් පෙන්වා තිබුණා. එය මෑත කාලීන ඉතිහාසයේ ලොකුම කඩා වැටීමක්. එය අප්‍රේල් 18දා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් වීමේදී සටහන් වූයේ ඒකක 5,606ක් ලෙසයි. 2015 ජනවාරි මාසයේදී, ඒ කියන්නෙ මේ වත්මන් ආණ්ඩුව බලයට එනවිට පැවති තත්ත්වය සසඳා බැලුවොත්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,299ක්ව පැවතියා. ඒ කියන්නෙ, කොටස් වෙළෙඳ පොළේ 7,299ක්ව පැවති සියලු කොටස් මිල දර්ශකය, මේ වනවිට ඒකක 5,402ක් දක්වා විශාල කඩා වැටීමක් පෙන්වා තිබෙනවා. විශේෂයෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත් සමග කොළඹ කොටස් වෙළෙඳ පොළ සඳහා ඇති විදේශ ආයෝජකයන්ගේ උනන්දුවට මෙය දරුණු බලපෑමක් සිදුකරනු ඇති. ඒ වගේම, 2014 වසරේදී අපට දෛනික සමස්ත පිරිවැටුම රු.මිලියන 1,500කට වඩා තිබුණා. පෙරේදා වනවිට එය රු.මිලියන 226කට කඩා වැටිලා. කොටස් වෙළෙඳ පොළ ගැන නම් තවදුරටත් බලාපොරොත්තුවක් තියන්න බරි තත්ත්වයක් තමයි, මේ වත්මන් තත්ත්වය යටතේ ඇතිවී තිබෙන්නේ.
ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සංචාරක ව්‍යාපාරයට මරු පහරක්
මේ සිදුවීම් මාලාව දෙස අප තවත් කෝණයකින් බැලුවොත්, වසර 30ක යුද්ධයක් පැවති කාලයේදීවත් එකම සංචාරකයෙකුවත් ශ්‍රී ලංකාවේදී මේ විදියට ඝාතනයට ලක්වෙලා නැහැ. මහ බැංකුව බෝම්බය පිපිරුණු අවස්ථාවේදී සංචාරකයන් කිහිප දෙනෙකු තුවාල වීම ඇතුළු සුළු සිද්ධි කිහිපයක් හැරෙන්නට මෙවැනි මහා සංහාරයක් විදේශිකයන්ට සිදුවුණේ නැහැ. මේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී එක දවසකට සංචාරකයන් 39 දෙනෙකු ඝාතනයට ලක්වුණා. ලෝකයේ සෑම රටකින්ම පාහේ පැමිණි සංචාරකයන් තමයි, ඉතාම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ. මේ නිසා ලෝකය පුරාම ඉතාම නරක පණිවුඩයක් අපේ රට ගැන මේ වනවිට ගලා ගිහින් ඉවරයි. ඒ වගේම, ISIS ඉස්ලාමීය ත්රස්තයන් මේ ප්‍රහාරයේ වගකීම භාර ගන්නව කියල කියද්දි, කවුද ආයෙත් මේ රටේ සංචාරය කරන්න එන්නෙ. ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්ත සංවිධානයක් මේ ප්‍රහාරයේ වගකීම ඔවුන්ගේ ගිණුමට බැරකර ගනිද්දි, මේ වගේ දරුණුම ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාවට ඇවිල්ල කියල ලෝකය පුරා ප්‍රචාරය වුණාම, මොන සංචාරකයද අපේ රටට ආයෙත් එන්නෙ. ඒ නිසා ආර්ථික වශයෙන් ගොඩඒමට තිබුණු එකම විසඳුමත් මේ ප්‍රහාරය නිසා අපට නැතිවුණා. පසුගිය කාලයේදී අපේ අපනයන ක්ෂේත්රය දරුණු කඩා වැටීමකට ලක්වුණා. කර්මාන්ත අංශය කඩා වැටීමකට ලක්වුණා. නමුත්, වර්ධනය වෙමින් පැවති එකම දෙය නම් සංචාරක ව්‍යාපාරය පමණයි. සංචාරක ව්‍යාපාරය හෙමින් වුණත් වර්ධනය වෙමින් පැවතියා. දැන් මේ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වැදුණා.
මේ තත්ත්වයෙන් රටක් ලෙස අපට ගොඩ ඒමට නම්
මේ තත්ත්වයෙන් ගොඩඒමට නම්, ඇමෙරිකාවේ 9/11 ප්‍රහාර සිදුවූ අවස්ථාවේ එක්සත් ජනපද ආණ්ඩුව ඉතාම ඉක්මණට නීති සම්පාදනය කරල, ඉතා ඉක්මණින් තීන්දු තීරණ අරගෙන අවශ්‍ය පියවර ගත්තා වගේ කඩිනම් ක්‍රියාමාර්ගයක් අප ගත යුතුයි. ඒ විදියට තමයි, රටක් ගැන විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. අපට මේ වෙලාවෙ, ලෝකය තුළ සහ රට අභ්‍යන්තරයේ අපේ රට ගැන විශ්වාසය ගොඩනැගීමට නම් දැන්වත් ඉතා ඉක්මන් තීන්දු තීරණ ගත යුතුයි. එහෙම තීන්දු තීරණ ගත්තෙ නැති නිසා තමයි, මෙහෙම වුණේ කියල දැන් මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා දැන්වත් තීන්දු තීරණ නොගත්තොත් කිසිම කෙනෙක් තවදුරටත් මේ ආණ්ඩුව විශ්වාස කරන එකක් නැහැ. ඒ නිසා බොරුවට ජනතාවට පේන්න කයිවාරු ගහමින් ඉන්නෙ නැතුව, මේ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමට, වැරදිකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට, මේ ත්රස්තවාදීන් ආරක්ෂා කළේ කවුද කියල රටට හෙළි කිරීමට, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට, ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගනිමින් ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම තීන්දු තීරණ ගන්නව කියල පෙනුනෙ නැත්නම් ආණ්ඩුව ගැන තියෙන, රට ගැන තියෙන විශ්වාස අනිවාර්යයෙන්ම නැති වෙනවා. රටේ ඉතිරි වෙලා ඉන්න, රටට වැඩක් කරන්න පුළුවන් තරුණයන් පිරිසත් රට හැරල යාම ස්ථිරයි. රටට එන්න තියෙන විදේශ ආයෝජන, විදේශ සංචාරකයො මේ රට දිහා හැරිලවත් බලන එකක් නැහැ."