කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල දර්ශකය, 2018 පළමු වැනි භාගයේදී, 2017 අනුරූප කාලයට සාපේක්ෂව 16.3%කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් මිල දර්ශකයේ 2018 වසර පළමු වැනි භාගයේ දත්ත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම අනාවරණය කරයි. එහිදී, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ප්‍රදේශ 82ක් දක්වා ඉඩම් මිල දර්ශකයේ භූගෝලීය ආවරණය වැඩි කරමින්, එහි පදනම් වර්ෂය 1998 වසරේ සිට 2017 වසරේ පළමු වැනි භාගය දක්වා සංශෝධනය කර ඇති බවද මහ බැංකුව කියයි.
ඒ අනුව, මෙම දර්ශකය ගණනය කිරීමේදී, ඉඩම් භාවිතය පිළිබඳව වන විවිධත්වය සැලකිල්ලට ගෙන නේවාසික, වාණිජ සහ කාර්මික යන ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක්ද ගණනය කරනු ලබන අතර, එම අනු දර්ශක තුනෙහි සාමාන්‍ය ඇසුරෙන් සමස්ත ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරනු ලබයි. එමෙන්ම, මෙම දර්ශකය ගණනයේදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පර්චසයක මිල උපයෝගී කර ගන්නා බවද මහ බැංකුව කියයි.
එහිදී, 2018 පළමු වැනි භාගයේදී නේවාසික, වාණිජ සහ කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යෑම මෙම සමස්ත ඉඩම් මිල දර්ශකයේ වර්ධනයට බලපා ඇති බවත්, එම අනු දර්ශකයන්හි වැඩිවීමද වාර්ෂික ලක්ෂ්යමය පදනම මත පිළිවෙළින් 16.5%ක්, 16.8%ක් සහ 15.8%ක් ලෙස දැක්වෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.