ශ්‍රී ලංකාව පුරා ඇති ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අරමුදල් සැපයීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID), එහි සංවර්ධන අධිකාරිය (DCA), හැටන් නැෂනල් හා සම්පත් යන බැංකු සමග එක්ව නව සහයෝගීතාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, මෙම කණ්ඩායම්වලට ඔවුන්ගේ ව්‍යවසායක කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට එක්සත් ජනපද ඩොලර් මිලියන 9ක් දක්වා දේශීය වශයෙන් අරමුදල් සැපයෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ස්වයං රැකියා අවස්ථා හා රැකියාවක යෙදීමේ හැකියාව ශක්තිමත් කරන යූ-ලීඩ් (YouLead) වැඩසටහනද මෙම සහයෝගීතාවට සහායක් මෙන්ම, අනුපූරකයක් වනු ඇති බවද ඔවුහු පවසති.
සැප්තැම්බර් 5දා මීට අදාළ ගිවිසුම් කොළඹදී අත්සන් කළ අතර, මෙම අවස්ථාවට අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්යක්ෂ රීඩ් අයිලිෂ්මන්, හැටන් නැෂනල් බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජූඩ් ප්‍රනාන්දු සහ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ තාරක රන්වල යන මහත්වරු සහභාගී වූහ.