MCC හෝ කවර හෝ ගිවිසුමක් සම්බන්ධයෙන් තීන්දු තීරණ නිවැරදිව නොගතහොත්, එහි ප්‍රතිවිපාකවලට වගකීමට සිදුවන්නේ අපට නොව, අපේ අනාගත දූ දරුවන්ට බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
"වත්මන් රජය කඩිමුඩියේ MCC ගිවිසුමක් දැන් කරලියට ගෙනැල්ලා. මුදල් ඇමති කියන්නෙ, 'මෙය ඉතාම හොඳ ගිවිසුමක්, රටට යහපතක්, අපට ඇ.ඩො.මිලියන 480ක ලැබීමක්' හැටියට පාස්කු ප්‍රහාරයෙන් පසු අර්බුදවලින් ගොඩඒමේ ආර්ථික ක්‍රමවේදයක් ලෙසයි. මේ ගිවිසුම ගැන සාකච්ඡා ඇරඹුනේ වර්ෂ 2004 දීයි. මම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් විදියට 2005 දී කටයුතු කරද්දිත්, ඇමෙරිකාව මේ යෝජනා ගෙනාවා. නමුත්, අපි දිගින් දිගටම කිව්වෙ, අපේ රටට ගැලපෙන්නෙ නැති, අපේ රටට ඔබින්නෙ නැති කිසිම කොන්දේසියකට අපි යටත් නොවන බවයි.
එතකොට රජය මොකද මේ හදිස්සියෙන්, කලබලයෙන් මේක අත්සන් කරන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම එය ඕනෑම කෙනෙකුට සැකයට කරුණක්. නමුත්, මේ රජයට ඒ ගැන තැකීමක් නැහැ. ගිවිසුම යෝජනා කරන ඒ රටේ ජනතා කැමැත්ත තිබුණොත් මේ රජයට ඇති. තමන්ගෙ රටේ ජනතාවගේ කැමැත්ත මොවුන්ට අදාළ නෑ. මම කියන්නෙ මේ අගමැතිවරයාත්, මුදල් ඇමතිවරයාත් ශ්‍රී ලාංකිකයන් නම්, ඔවුන් මුලින්ම හිතන්න ඕනෙ අපේ ජනතාව ගැනයි.
ඇත්තටම මේ ඕනෑම ගිවිසුමක් අපි විද්‍යානුකූලව විශ්ලේෂණය කරලා, ඒ පිළිබඳ රට තුළ සංවාදයක් ඇති කරලා, අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා, අපට යම් අවාසිදායක දේ ඇත්නම් ඒවා හරිගස්සලා, ඔවුන් අපේ අභිමතයට එකඟ නම් පමණක් විදේශයක් සමග ගිවිසුමකට පැමිණීම අපට අභියෝගයක් නොවෙයි. මේ විදියට කවුරු හරි ගෙනැල්ලා උඩින් දාපු ගිවිසුම් හෝ කොන්දේසිවලට යටත් නොවී ස්වෛරී රාජ්‍යයක් හැටියට ඒ තීරණ ගන්න අපිට පුළුවන් විය යුතුයි. ඒ තීන්දු තීරණ නිවැරදිව නොගතහොත් එහි ප්‍රතිවිපාකවලට වගකියන්න වෙන්නෙ අපට නොවෙයි. අපේ අනාගත දූ දරුවන්ටයි. එසේ නොවීමට අපි අදම කටයුතු කළ යුතුයි."