බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මහා වැදගත් ලියවිල්ලක් සේ සලකන කෝප් කමිටුවේ සභාපතිටවත්, මෙම වාර්තාව සකස් කළ BDO ඉන්දියා ආයතනය වග නොකියන අතර, මහ බැංකුවේ ප්‍රයෝජනයට පමණක් සකස් කළේ යැයි කියන මෙම වාර්තාව, අතට පත්වන හෝ එය පෙන්විය හැකි කිසිවෙකු වෙනුවෙන් තමන් වගකීම භාර නොගන්නා බව එම වාර්තාවේම ඔවුන් පැහැදිලිව සඳහන් කර ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ලෝකයේ පිළිගත් විගණන ආයතනයකින් ක්‍රමවත්ව හා විධිමත්ව සැකසූ වෝහාරික විගණන වාර්තාව සමග හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කලබලයට පත්ව ඇති බවට කෝප් කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නඟන චෝදනා සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා,
"මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හඳුන්නෙත්ති මහත්මයා වගේ අය කතා කිරීමට පෙර සිටම මේ ගැන මා කතා කළා. 2015 මාර්තු මාසයේදී රූපවාහිනී සාකච්ඡාවලට පැමිණ මේ ගැන රටට හෙළි කළා. ඒ කාලයේ සිටම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා වගේම, ඔහුගේ මන්ත්‍රීවරු දිගින් දිගටම මට චෝදනා එල්ල කළා. නමුත් ඒ කිසිවකින් නොසැලී ඒ හෙළිදරව් කිරීම් මා රට හමුවේ සිදුකළා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට හිටපු ගෝල බාලයන් නැති නිසා, දැන් ඔහු අලුත් කුලීකරුවන් පිරිසක් මේ සඳහා තෝරගෙන තියෙනවා. ඒ කුලීකරුවන්ගේ කතාවලට මම කලබල වෙන්නෙ නැහැ. මම දිගටම මගේ ස්ථාවරයේ සිටියා. 2015 සිට මේ දක්වා ලිපි රැසක් පුවත්පත්වලට ලියා තිබෙනවා. මේ කිසිවක් වෝහාරික විගණනයක් නිසා කලබලයෙන් කළ දේවල් නොවෙයි. මට අවශ්‍ය වුණේ, මහ දවල් මහ බැංකුව හොරා කෑ අය රටට හෙළි කරන්නයි.
ඒ වගේම හඳුන්නෙත්ති මහත්මයා කියන්නෙ, මේ වෝහාරික විගණනය සඳහා ලෝකයේ පිළිගත් විගණන ආයතනයක් තෝරාගෙන ඇති බවයි. ඒ ආයතනය එහි වගකීම භාරගන්නා බව කියනවා. නමුත් මෙසේ චෝදනා කරන අය මේ විගණන වාර්තාවල් හරියට කියවලවත් නැහැ. ඉන්දියානු BDO සමාගම මූලිකත්වයෙන් සිදුකර ඇති මේ වෝහාරික විගණන 01 වැනි වාර්තාවේ පිටු අංක 04, ඒ කියන්නෙ ඔවුන් මේ ගැන කියන පළමු පිටුවෙන්ම, &මේ වාර්තාව පිළියෙළ කර ඇත්තේ මහ බැංකුවේ ප්‍රයෝජනයට පමණයි. මේ වාර්තාව පෙන්විය හැකි තෙවැනි පාර්ශ්වයකට හෝ එය අතට පත්විය හැකි කිසිවෙකු වෙනුවෙන් හෝ අපි කිසිම ආකාරයකින් වගකීමක් භාර නොගන්නෙමු* යැයි කියනවා. ("This report is prepared solely for the purpose of the CBSL. We accept no responsibility or liability to a third party to whom our Report may be shown or in whose hands it may come." - BDO India Report 01 - Page 04) ඒ කියන්නෙ, මහ බැංකුව හැරුණු විට මේ වාර්තාව අතට පත්වන හෝ එය පෙන්වන කිසිම කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු වගකීම භාර නොගන්නා බවයි. එතකොට මේ කෝප් කමිටුවේ සභාපතිවරයා කියන පුද්ගලයා, 'මේක ඉතාම වැදගත් ලියවිල්ලක්, ඕනෑම කෙනෙකුට ඒක පිළිගන්න පුළුවන්' කියල මහා ඉහළින් කියනවා. නමුත් මේක ලියපු අයම කියන්නෙ, ඔවුන් වගකීම භාර නොගන්නා බවයි.
මගේ සහෝදරිය ගැන චෝදනා කරනවා. සම්පූර්ණ අසත්‍යයක්. ඇය පර්පෙචුවල් ට්‍රෙෂරීස් මවු සමාගමේ සිටි අයෙක්. ඇය කිසිදු අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකට සහභාගි වෙලා නැහැ. ඇය මේ මහා වංචාව සැලවූ වහාම ඒ ආයතනයෙනුත් ඉවත් වුණා. මහ බැංකු වංචාව කළ අය රැකගන්න යූඇන්පී සහ ජවිපෙ හැමෝම කතා කරද්දි, ඒ ආයතනය අත්හැර ගියේ මගේ සහෝදරිය විතරයි. මා සම්බන්ධයෙන් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට හොයන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්රමුඛ මේ පිරිස දැනටත් අවුරුදු 5ක් පුරා අපේ සියලුම ගනුදෙනු, සියලුම තොරතුරු, සියලුම ගමන් බිමන් සොයා බැලුවා. කිසිම දෙයක් හොයා ගන්න බැරි නිසා නැවත වරක් මඩ ගැසීම් ආරම්භ කර තිබෙනවා.
මගේ ඥාතීන් බැංකුවල සිටි බව මේ වාර්තාවේ සඳහන් වන්නේ යැයි කියමින් චෝදනා නඟනවා. මේ ගැන මා මීට පෙරත් බොහෝ විස්තර කියා තිබෙනවා. කෙසේ වෙතත් ඒ සෑම ඥාතියෙකුම ඔවුන්ගේ දක්ෂතා හා සුදුසුකම් නිසා ඒ ඒ ආයතන විසින්ම පත්කළ අයයි. එහිදී මේ වෝහාරික විගණන 01 වැනි වාර්තාවේ, පිටු අංක 167න් කියන්නෙ, 'අප විසින් සොයා ගන්නාලද ඩිජිටල්, ලිඛිත සහ වාචික සාක්ෂි අනුව, ඉහත කී කිසිවෙක් (කබ්රාල් මහතාගේ ඥාතීන්ද ඇතුළු පිරිස) බැඳුම්කර සෘජු නිකුතු මිල අඩු කිරීමේ කටයුත්තකට කිසිම ආකාරයකට සම්බන්ධ වී ඇතැයි, අපට යෝජනා කළ නොහැකිය.' යනුවෙනුයි. මගේ පරිගණකය සම්පූර්ණයෙන්ම පිරික්සලා, මේ වාර්තාවේ තවත් තැනක, 'කිසිම විටෙක කිසිම දෙයක් මකා දැමීමක් (Delete) සිදුකර නොතිබුණේ හිටපු අධිපති කබ්රාල් මහතා පරිහරණය කළ පරිගණකයේ පමණයි' යනුවෙන් මේ වාර්තාව කියනවා. මට හංගන්න දේවල් තිබුණා නම් මට ඕනෑම දෙයක් කරන්න තිබුණා. 2015 ජනවාරි 08දා මැතිවරණයට පසුව, මම ජනවාරි 09දා ගෙදර ගියා. මට ඔය එකක්වත් හංගන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔය චෝදනා නඟන අය වගේ නොවෙයි. මට හංගන්න ඕනෑකමක් නැහැ. මේ දේ ඔවුන්ට තේරුම්ගන්න බැරි වුණත්, ඇත්ත තත්ත්වය තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් ජනතාවක් මේ රටේ සිටිනවා." පවසා සිටියේය.