ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය කෙරෙහි පසුගිය කාල පරිච්ඡේදය පුරා විවිධ අන්දමේ බලපෑම් එල්ල විය. ස්වභාවික විපත්, දේශපාලන අර්බුද, ආරක්ෂක තර්ජන ආදී වශයෙන් විවිධ කම්පනයන් මෙහිදී ගෙනහැර දැක්විය හැකිය. කෙසේ වෙතත්, මේ කම්පනයන්ට රටක් ලෙස අප දක්වා ඇති ප්‍රතිචාර ප්‍රමාණවත් නොවන අතර, ඒ හේතුවෙන්ම ශ්‍රී ලාංකේය සන්නාමය කෙරෙහිද සෘණාත්මක බලපෑමක් ලෝකය හමුවේ පෙන්නුම් කර තිබේ. ඒ අනුව, රටක් ලෙස ඉදිරියට යෑමට නම්, ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම වෙනුවෙන් වැඩකටයුතු කිරීමත්, ආයෝජක විශ්වාසය ගොඩනැගෙන හා ආයෝජකයන්ට හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් මේ මොහොතේ අත්‍යවශ්‍ය බව අවධාරණය කළ යුතුය.
2019 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී (SLES) දිගහැරෙන 'ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනගමු' සංවාද මණ්ඩපයේදී මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවට බඳුන්වීමට නියමිතය. එහිදී, මෙවැනි ඔරොත්තු දීමකට ශ්‍රී ලාංකේය ආයතන සහ ව්‍යාපාරවල සූදානම පිළිබඳ සලකා බැලෙනු ඇති අතර, මේ සඳහා සුදුසු යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම, අවදානම් කළමනාකරණය කිරීමේ ශක්‍යතාවක් ශ්‍රී ලංකාව සතුද යන්න පිළිබඳවද වැඩිදුරටත් පරීක්ෂාවට බඳුන්වනු ඇත.
ආසියානු ආපදා සූදානම් මධ්‍යස්ථානයේ (ADPC) නියෝජ්‍ය විධායක අධ්යක්ෂ අස්ලාම් පර්වෙයිස් කලාපීය වශයෙන් මෙම සංවාද මණ්ඩපයේ ප්‍රධාන දේශකයා වනු ඇති අතර, සෙසු දේශකයන් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක, RMA Energy කළමනාකර අධ්යක්ෂ ආචාර්ය තිලක් සියඹලාපිටිය, ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සනත් සී. ද සිල්වා, Internatinal SOS හි දකුණු ආසියානු කලාපීය ආරක්ෂක විශේෂඥයෙකු වන කණිෂ්ක ලෑඩ් යන මහත්වරුන් සහභාගී වනු ඇති අතර, LIRNEasia ආදිකර්තෘ සහ ICTA සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් විද්වත් සභාව මෙහෙයවීමට නියමිතය.
2019 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන සැප්තැම්බර් මස 17 සහ 18 යන දිනයන්හි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝලටයේදී පැවැත්වෙනු ඇති අතර, මේ සඳහා ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු දැනගැනීමට [email protected] හෝ [email protected] යන ඊමේල් ලිපින භාවිත කළ හැකි බව සංවිධායකයෝ පවසති.