එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබාදීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳ පොළට නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේදී මිලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත් කර ඇති අතර, මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත්කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිතය.
මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.
ඒ අනුව මෙම සතිය තුළ දිවයින පුරා ගබඩා කර ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස වෙත නිකුත් කිරීම ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වෙයි.