දෙරටේ රජයන්ට පමණක් සංවර්ධනයක් ඇති කළ නොහැකි බවත්, සංවර්ධනය කරා යන ගමන්මගේදී දෙරටේ කර්මාන්තවලටද වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්ධූ මහතා පවසයි.
ඉන්දු-ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙසේ අදහස් දක්වා සිටියේය. 2018 අගෝස්තු මස 13 වැනි දින කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙය පැවැත්වුණු අතර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී ඉන්දිරා මල්වත්ත මහත්මිය හා කර්මාන්ත ක්ෂේත්රයේ පුරෝගාමීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම මහා සභා රැස්වීම අමතමින් මහ කොමසාරිස්වරයා රටවල් දෙකම සෞභාග්‍ය කරා ගෙන ඒම සඳහා කැප වී ක්‍රියා කරන ව්‍යවසායකයන්ට ප්‍රශංසා කළ අතර, පසුගිය වසර තුළ ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයෙහි වැදගත් සන්ධිස්ථානයන්ද සිහිපත් කළේය. දෙරටෙහි නායකයන් විවිධ සමුළුවලදී හමුවී එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීම සුබවාදී ප්‍රවණතාවයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. වඩා ශක්තිමත් වී ඇති ද්විපාර්ශ්වික සංවර්ධන සහයෝගිතාව පිළිබඳවද ඔහු කතා කළේය. කොළඹ සහ වරණාසී අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම, හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීම, උඩරට ප්‍රදේශයේ වතු කම්කරුවන් සඳහා ක්‍රියාත්මක නිවාස 14,000ක පළමු වැනි අදියර යටතේ ඉදිකළ නිවාස ප්‍රතිලාභීන්ට භාරදීම ආදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය වසරේ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලබාදුන් පොරොන්දු නිසි කලට ඉටු කිරීමට ඉන්දියාව සමත්ව ඇති බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ඉන්දීය සංවර්ධන කටයුතු මෙරට ජනතාවගේ ජීවිතවලට සුබවාදී බලපෑමක් එල්ල කරමින් ඔවුන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී පවසා සිටියේය.
එමෙන්ම, දෙරටේ රජයන්ට පමණක් සංවර්ධනයක් ඇති කළ නොහැකි බවත්, සංවර්ධනය කරා යන ගමන්මගේදී දෙරටේ කර්මාන්තවලටද වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හයිද්‍රාබාද්හි පැවති ගෝලීය ව්‍යවසායකත්ව සමුළුවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ව්‍යවසායකයන්ගේ ගතිලක්ෂණ පිළිබඳව සඳහන් කළ "මානව වර්ගයාගේ දියුණුව සඳහා කල් ඇතිව හා වෙනස්ව සිතීමට ඇති හැකියාව නිසා ව්‍යවසායකයන් සෙසු පුද්ගලයන්ගෙන් වෙනස් වේ" යන කියමනද මහ කොමසාරිස්වරයා මෙහිදී උපුටා දැක්වීය. කර්මාන්ත ක්ෂේත්රයේ නායකයන් අනාගතය දෙස දුරදිග බලා කටයුතු කළ යුතු බව ඔහු මෙහිදී සඳහන් කළේය.
ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විෂ් ගෝවින්ද්ස්වාමි මහතා දෙරටේ වාණිජ මණ්ඩල අතර වර්ධනය වී ඇති අන්තර් සම්බන්ධතා සහ ව්‍යාපාර නියෝජිත සංචාරයන් ආදිය මගින් පිළිබිඹු කෙරෙන සක්‍රීය ද්විපාර්ශ්වීය කර්මාන්ත සම්බන්ධතා පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළේය. එසේම ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය විසින් දෙරට අතර ව්‍යාපාරික කටයුතු වර්ධනය කර ගැනීම සඳහා දරන ලද ප්රයත්නයන් ඔහු අගය කළේය.