ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳ පොළ විශාල වශයෙන් ආනයන මත රඳ පවතින අතර, පසුගිය වසරේ රජය පැනවූ ආනයන සීමා සමග මගී මෝටර් රථ සඳහා භාවිත වන රේඩියල් ටයර්වල දැඩි හිඟයක් ඇතිවී තිබේ. එහිදී වසරකට ටයර් මිලියනයක් පමණ වන දේශීය ඉල්ලුම සපුරාලීමට දේශීය නිෂ්පාදනවලට නොහැකි වී ඇත. මෙරට විශාලතම ටයර් නිෂ්පාදකයාගේ ධාරිතාවද වසරකට ටයර් ලක්ෂ 5ක් පමණ වන බැවින්, මේ සඳහා විකල්ප වෙත ඉක්මනින් යොමුවීම වැඩා වැදගත් බව නොකිවමනාය.
අපනයන වෙළෙඳ පොළ ඉලක්ක කරගත් ටයර් නිෂ්පාදනයන් වෙත යොමුවීම මෙහිදී එක් විසඳුමක් වුවත්, නියාමන හා වෙනත් සීමාවන් නිසා එයද පහසු විසඳුමක් නොවේ. උදාහරණයක් ලෙස, අපනයනය සඳහා නිපදවන ටයර් නිෂ්පාදනයට භාවිත කරන්නේ බදු රහිතව ආනයනය කරන ලද අමුද්‍රව්‍යයි. මෙය දේශීය කර්මාන්ත දිරිමත් කිරීම සඳහා ලබාදී ඇති සහනයකි. මෙමගින් දේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගත් නිෂ්පාදකයන්ට වඩා ආයෝජන මණ්ඩලය හා සම්බන්ධ කර්මාන්තවලට තරගකාරී වාසියක් හිමිවේ. එනමුදු කිසිදු පාර්ශ්වයකට අවාසියක් ඇති නොවන ආකාරයේ මිල යාන්ත්‍රණයක් හඳුන්වාදිය හැකි නම්, සහ ඒ ඔස්සේ අවසන් වාසිය පාරිභෝගිකයා වෙත ලබාදිය හැකි නම්, අපනයන තහනම ඉවත් කරන තුරු මෙරට ටයර් හිඟය වෙත යම් පිළියමක් ලබාදිය හැකිවනු ඇත.
රේඩියල් ටයර් ඉක්මනින් ගෙවී යයි. නව මංමාවත් ඉදිවීමත් සමග ගෙවීගිය ටයර් භාවිතය මාර්ග අනතුරුවලට අත වැනීමකි. විශේෂයෙන් අධික වේගයකින් අධිවේගී මාර්ගවල වැඩි කාලයක් ගමනේ යෙදෙන විට ටයර් මත යෙදෙන පීඩනය වැඩිය. මේ නිසාම එම මාර්ගවල ටයර්වල හුළං යෑමේ සිද්ධි බොහෝ දැකිය හැක. එමෙන්ම ටයර් පිපිරී අනතුරු සිදුවී ඇති අවස්ථාද වාර්තා වේ. ගෙවී ගිය ටයර් යොදාගෙන ධාවනයේ යෙදීමෙන් ඇතිවන අවදානම ගැන පළපුරුදු රියදුරන්ට අවබෝධයක් තිබුණත්, සුදුසු ටයර් වෙළෙඳ පොළේ නොතිබීම නිසා ගෙවීගිය ටයර් දිගටම භාවිත කිරීමට ඔවුන්ටද සිදුව තිබේ.
ටයර්වල කල් ඉකුත්වීමේ දිනයක් ඇති බවද බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ටයර් නිතර පාවිච්චි කළත් නැතත්, ඒවා කාලයකදී, සාමාන්‍ය රබර් මෙන්ම පාවිච්චියට නුසුදුසු තත්ත්වයට පත්වේ. කල් ඉකුත්වීමේ දිනය ටයර්වල පසෙක ඉලක්කම් 4කින් යුතු අංකයක් මගින් හඳුනාගත හැක. මින් මුල් ඉලක්කම් 2ක නිෂ්පාදිත සතියත්, අවසන් ඉලක්කම් 2ක නිෂ්පාදිත වර්ෂයත් හඟවයි. අලුත් ටයර් මිලදී ගැනීමේදීද නිෂ්පාදනයෙන් වසරක් ඉක්ම නොගිය ටයර් මිලදී ගැනීම වඩාත් සුදුසු අතර, ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයන් අනුව නිෂ්පාදනයේ සිට වසර 6ක් ගතවූ පසු ටයර් මාරු කිරීම සුදුසුය. නමුත් ටයර් හිඟය නිසා අද 2017 හෝ 2018 නිෂ්පාදනය කරනලද ටයර් පවා අලෙවියට තබා තිබීම කනගාටුවට කරුණකි.
එමෙන්ම ටයර් හිඟය නිසා ටයර් මිලද අහස උසට නැග ඇත. මෙම මිල ගණන් පෙර නොවූවිරූ ලෙස තවදුරටත් ඉහළ යා හැකි බව මැලේ වීදියේ ටයර් අලෙවිකරුවෙකු පැවසීය. මේ නිසා පාරිභෝගිකයන් තවදුරටත් අනාරක්ෂිත ටයර් භාවිතයට යොමුවීම තවදුරටත් සිදුවනු ඇත. නමුත් වාහනයේ තිරිංග පද්ධතිය කෙතරම් හොඳ මට්ටමක පැවතියද ටයර් දුර්වල නම්, වේගය හමුවේ සියල්ල මොහොතකින් වැරදී යාමට ඉඩ තිබේ. අවදානමට ඇති හොඳම පිළියම අවදානමට මුහුණදී විසඳුම් සෙවීම නොව, කල්තබා ආරක්ෂා වීමය.
"Sri Lanka Tyre Market Forecast & Opportunities: 2021" යන මාතෘකාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද TechSci Research වාර්තාව මගින්, 2016-2021 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳ පොළ 12.59%ක CAGR මට්ටමකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යාම, රථවාහන භාවිතය වැඩිවීම සහ හිතකර මූල්‍ය ප්රතිපත්තීන් ආදිය නිසා මෙම වර්ධනය අපේක්ෂිතය. ස්ථාවර ව්‍යාපාර වාතාවරණය, හිතකර ආර්ථික තත්ත්වයන්, අඩු පොලී අනුපාත යටතේ ණය පහසුකම් සහ රටේ රථවාහන භාවිතය වැඩිවීම යනාදිය නිසා ඉදිරි වසර 5 තුළ රථවාහන කර්මාන්තයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන අතර, එමගින් ටයර් සඳහා ඇති ඉල්ලුමද ඉහළ යනු ඇති බව එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මෙම අර්බුදය විසඳීමට රජයේ සාධනීය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ මෙතැනදීය. දැනට දේශීය වෙළෙඳ පොළ සඳහා ටයර් නිපදවන සමාගම් අපහසුතාවට පත්කරනු වෙනුවට ඔවුන් මුහුණදී ඇති තත්ත්වයටද සහනයක් වශයෙන්, අපනයනය සඳහා නිපදවනු ලබන ටයර්වලින් යම්කිසි ප්‍රතිශතයක් දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකිනම් එය සහනයකි. ජාත්‍යන්තර ප්‍රමිතියේ එම ටයර් භාවිතයට අවස්ථාව ලැබීම, පාරිභෝගිකයන්ටද අතිරේක වාසියකි. වසංගතය ක්‍රමයෙන් උග්රවන නිසා ආනයන යථා තත්ත්වයට පත්වන දිනයක් තවමත් පෙනෙන තෙක් මානයක නැත. ඒ නිසා කොරෝනා මරණ මෙන්ම, මහමග සිදුවන මරණ වළක්වා ගැනීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද යන්න සොයා බලා ඒවා ක්‍රියාවට නැංවීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.