ආනයන වර්ධනය ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය 2017 වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2018 ජුනි මාසයේදී අඛණ්ඩව පුළුල් වී තිබේ.
2018 වසරේ පළමු භාගය තුළ සමුච්චිත වෙළෙඳ හිඟයද 2017 වසරේ පළමු භාගයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පුළුල් වී ඇත.
එහිදී, 2018 ජුනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ ආනයන එ.ජ.ඩොලර් මිලියන 1,819ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන්ධන, රථ වාහන සහ ප්රවාහන උපකරණ ආනයන වෙනුවෙන් ඉහළ වියදමක් දැරීමට සිදුවීම මේ සඳහා ප්රධාන වශයෙන් හේතු වී ඇත.
බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිතවල ආනයන මිල ගණන් හා පරිමාවන් ඉහළ යෑම හේතුවෙන් අන්තර් භාණ්ඩ යටතේ වර්ග කර ඇති ඉන්ධන ආනයන වියදම මෙම මාසය තුළදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, සිලින්ඩර ධාරිතාව 1,000 ට අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්යුත් මෝටර් රථ ආනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් 2018 වසරේ ජුනි මාසයේදී පාරිභෝගික භාණ්ඩ යටතේ වර්ග කර ඇති පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ මත වන බදු 2018 අගෝස්තු 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දැමීම හේතුවෙන් රථ වාහන ආනයනය ඉදිරි මාසවලදී යම්තාක් දුරට පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කර තිබේ.