අනාගතයේ වැදගත්ම භාණ්ඩය වන්නේ දැනුම බවත්, ඒ දැනුම ලබාගැනීමට සුදුසුකම් ඇති සමාජයක් ඇතිකළ යුතුව ඇති බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ හෝමාගම හරිත සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි ගුර සිසු හමුව අමතමිනි. එම සරසවියේ ශ්‍රවණාගාරයේ පැවති මෙම දේශනයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉදිරි පරපුරට සාධාරණ අනාගතයක් ගොඩනැගීම අපේ ප්‍රධාන අභිප්‍රාය හා අභියෝගයයි. ඒ අභියෝගය තුළ අපට තීරණ ගැනීමට සිදුවෙනවා. අද අපේ උසස් අධ්‍යාපනය දෙස බලන විට පෙනී යන්නේ, දක්ෂතා ඇති දරුවන් විශාල පිරිසක් පැය කිහිපයක විභාගයකට මුහුණදී ඉන් කොටසක් පමණක් රාජ්‍ය විශ්වවිද්‍යාලට තේරීපත් වන බවයි. නමුත්, ඒ හා සමාන හැකියාවක් ඇති තවත් විශාල කොටසක් ඉතිරි වෙනවා. මේ පිරිසේ අනාගතය සුරක්ෂිත කරන්නේ කෙසේද යන්න අප මුහුණදී සිටින අභියෝගයයි. එවැනි අභියෝගවලට මේ විශ්වවිද්‍යාලය පිළිතුරක් සපයනවා.
රජය සියල්ල කළ යුතුය යන්න නොසිතිය යුතුයි. අප විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ සංවර්ධනය යන්නට රටේ සම්පත්, භූමියේ වූ සම්පත්, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය වැනි දේ ගැන කතා කළා. නමුත්, අද තිබෙන්නේ දැනුමේ කර්මාන්තයි. අනාගතයේ රටවල් දියුණු වන්නේ ඒ මා කලින් සඳහන් කළ සම්පත්වලින් පමණක් නොවෙයි. ඒවා අවශ්‍ය වුවත්, එකී සම්පත් ලෝකයට ප්‍රයෝජනවත් දේවල් බවට පෙරලීම සඳහා අප දැනුම් සමාජයකට යා යුතුයි. අනාගතයේ වැදගත්ම භාණ්ඩය වන්නේ දැනුමයි. ඒ දැනුම ලබාගැනීමට සුදුසුකම් ඇති සමාජයක් අප ඇති කළ යුතුයි. අපේ රටේ සාක්ෂරතාව, මෙරට අධ්‍යාපන ක්‍රමය, උසස් අධ්‍යාපනය, කුමන අඩුපාඩු තිබුණත් ලෝකයට ආදර්ශයක් සපයා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සහස්ර සංවර්ධන ඉලක්ක අනුව දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම තැනක සිටිනවා" යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට උපකුලපති මහාචාර්ය ඊ.ඒ.වීරසිංහ, එන්.එස්.බී.එම්. සභාපති පී.රණේපුර, අමාත්‍යාංශ ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, මහාචාර්ය භාරත දොඩන්කොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.