සෞදි ඇරම්කෝ ඉන්ධන පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය මෙන්ම, මිල අඩුවීම සමග ඉහළ ගිය ගෑස් ඉල්ලුම ආදී හේතු කිහිපයක් නිසා වෙළෙඳ පොළ තුළ ගෑස් හිඟයක් මතුව තිබුණද, පාරිභෝගිකයන්ට අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබාදීමට පියවර ගන්නා බවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම අවධාරණය කරයි.
ඉහත බලපෑම් හමුවේ මේ වනවිට ශ්‍රී ලංකාවේ තරගකාරී සමාගම්වල ගෑස් හිඟ වීමෙන් පාරිභෝගිකයන් විශාල පිරිසක් ලිට්රෝ සමාගමේ ගෑස් භාවිතයට යොමුව ඇති බව පවසන ඔවුන්, ලිට්රෝ සමාගමේ ගෑස් සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ යාමට එය හේතු වූ බවද පෙන්වා දෙයි.
එමෙන්ම, දැනට පවතින අයහපත් කාලගුණය නිසා ගෑස් රැගෙන එන නෞකාවලට ලිට්රෝ සමාගමේ පර්යන්ත දෙකට ළඟාවීම දුෂ්කර වී ඇති බවත්, මුහුදේ සිට ගොඩබෑම් කටයුතු සිදුකිරීම ඇරඹීමට බලා සිටීමට ඇතැම් නෞකාවලට සිදුව ඇති බවත් ඔවුන් කියයි.
මේ අතර, පාරිභෝගිකයන් කලබල වී ඉක්මණින් ගෑස් මිලදී ගැනීමට පෙළඹීම, දැනට පවතින ගෑස් හිඟයට තවත් ප්‍රධාන හේතුවක් බව පවසන ඔවුන්, සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 900ත්, 950ත් අතර පැවති ඉල්ලුම මේ නිසා මෙට්‍රික් ටොන් 1,300ක් දක්වා වැඩිවී ඇති බවද පෙන්වා දෙයි.
මෙම අතිරේක පීඩනය මධ්‍යයේ වුවද ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම අභියෝග හමුවේ ශ්‍රී ලාංකේය පාරිභෝග්කයන්ට ගැටලුවකින් තොරව අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් පවසයි.