මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර සමඟ සෘජු දුරකථන සම්බන්ධතා පවත්වාගෙන යමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා 'ඊසි කෑෂ්' ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි "තඹුත්තේගම අක්කා" නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොයින් මත් කුඩු සමග ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය පහේ කණුව, රන්දෙණිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි. සැකකාර කාන්තාව අත්අඩංගුවට පත්වූ පසුවද බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් හට දුරකථන ඇමතුම් ලබා ගත් බව බවත් ඒවායේ හඬ පට තිබෙන බවද පොලිසිය කියයි.
එම ජාවාරමටම සම්බන්ධ කාන්තාව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් ලබා දෙන හෙරොයින්, තම සැමියා සමග එක්ව විවිධ ස්ථානවල සඟවන බවත්, ඊට අදාල මුදල් ගිණුම් ගත වූ පසු, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හට අදාල මත් ද්‍රව්‍ය සැඟවූ ස්ථානය හෙලි කරන බව පොලිසිය සඳහන් කළේය.
අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ස්ථානයක හෙරොයින් මත්කුඩු සැඟවීමට යාමේදී අදාල සැකකාරිය සහ සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේ ඔවුන් සතුව මත්කුඩු ග්‍රෑම් 15ක් තිබී හමුවූ බවද පොලිසිය සඳහන් කළේය. ඔවුන් අද දින (21) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේවා පතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මෙම වැටලීම සිදු කලහ.
බී.ජී.චතුරංග