මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි'
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ මුණගම දික්හේනගම පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික 38 හැවිරිදි සෙබලියක් සහ හලාවත මාරවිල පදිංචි පනාගොඩ යුද හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළියක් ලෙස සේවය කර මීට මාස තුනකට පෙර පලා ගිය බව කියන 21 හැවිරිදි තැනැත්තියකි.
මොවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ සේවය කළ අයවලුන් බව පොලිසිය සඳහන් කරයි.
හොරණ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පානදුර රත්නපුර මාර්ගයේ ඉලිබ හන්දියේ රාත්‍රී 10.30ට පමණ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදීඉංගිරිය දෙස සිට දෙදෙනෙකු පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය නැවතීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.
එම සංඥාවලට අවනත නොවූ සැකකාර පැදිකාරිය පොලිස් නිලධාරීන් පසුකර කටුහේන අතුරු මාර්ගයට යොමු කර පලායාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාද පොලිස් යතුරු පැදියෙන් මීටර් 300ක පමණ දුරක් පසුපස හඹා ගොස් සැකකාරියන් දෙදෙනා නවත්වාගෙන යතුරු පැදියේ යතුර සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.
එහිදී සැකකාර විශ්‍රාමික සෙබළිය නිලධාරීන් අමතා " තමන් යුද හමුදා බුද්ධි අංශයේ සෙබලියන් දෙදෙනෙක් බවත් තමන්ගේ රාජකාරී ගමනට බාධා කිරීමට පැමිණි බවට උසස් නිලධාරීන්ට පැමිණිලි කරන බවට" පවසා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති අතර එය අසාර්ථක වූ පසු "තමන්ට නිවසේදී මත්පැන් පානය කිරීමට අවසර නැද්ද" යනුවෙන් පොලිස් නිලධාරීන් සමග තර්ක කරමින් සාපරාදී බලහත්කාරය පා ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා රාත්‍රී ජංගම සංචාරක කැබ් රථයෙන් පොලිස් කාන්තාවක් එම ස්ථානය වෙත ගෙන්වා සැකකාරියක් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර ඒ බව හමුදා පොලිසියටද දැනුම් දීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවසීය.
අනතුරුව සැකකාර සෙබලියන් දෙදෙනා මත්පැන් පානය කර සිටීම සම්බන්ධයෙන් තවදුරටත් සනාථ කර ගැනීම ශ්වසන නළ පරික්ෂාවක්ද සිදුකළ බවත් එමගින්ද ඒ බව සනාථ වූ බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. සැකකාරියන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.