පොලීසියේ හේතු රහිත ඉල්ලීම්වලට නියෝග නිකුත් කරන්න 'මහේස්ත්‍රාත්වරයා පොලීසියේ රබර් මුද්‍රාව නොවේ' යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රන් සොරකම් නඩුවක සැකකරුවන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් ඉවත දමමින් අද (20දා) පැවසීය.
අදාළ චෝදනාවන්ට ඔවුන් සැකකරුවන් ලෙස නම්කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා ඔවුන් අත්අඩංගුවට නොගන්නා බව එමගින් හැඟී යන්නේ යැයිද සඳහන් කළේය.
2016 සහ 2019 අතර කාලය තුළ සිදුවූ රත්තරන් සොරකමක් සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත්, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා 2016-2019 අතර කාලය තුළ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් කරන විමර්ශනෙවලට 2024 ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලයේ දුරකථන වාර්තා කැඳවන්නේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශනය සඳහා විමර්ශන බාර නිලධාරීන්ට මෙම තොරතුරු අවශ්‍ය වී ඇතැයි කීහ.පොලීසිය ඉදිරිපත් කළ කරුණු නියෝගයක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමට නියෝග කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.