පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සැලකිය යුතු කණ්ඩායමක් එළැඹෙන අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කිරීමට උත්සහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දෙයියන්දර ප්‍රදේශයේ අද (30දා) පැවති ජන රැලියකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.මේ අතර ඉදිරියේදී දවසින් දවස විවිධ පුවත් අහන්න ලැබෙනු ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
"ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේ වංචාවේ,දූෂණයේ යෙදුනු අයට දඬුවම් දෙන්න ඕනෑ කියලා. කරන්න ඕනැද ? නැද්ද? කරන්න ඕනෑ. දඬුවම් දීමේ බලයක් ආණ්ඩුවකට නෑ. ආණ්ඩුවට තියෙනවා මේ දක්වා බලයක්. මොකක්ද? ඒ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ කරන්න ආණ්ඩුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉන්නවා. අපි පරීක්ෂණ කරනවා.
ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් වැඩක්. ඒ පරීක්ෂණ මත හෙළිදරව් වන කරුණු මත නීතිපති දෙපාර්තමේන්තුව නඩු ගොනු කරන්න පුළුවන් මහාධිකරණයේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු ගොනු කිරීම ආණ්ඩුවකට පැවරෙන කාර්ය භාරයක්. නඩුව ගොනු කළාට පස්සේ අපගේ කාර්ය භාරය අවසන්. ඊට පස්සේ තියෙන්නේ අධිකරණයේ කාර්ය භාරය ඒ නඩුව නිසි පරිදි විභාගයට ලක් කරලා අදාළ වන දූෂිතයන්ට දඬුවම් දීම. දැන් අපි මොකක්ද කරමින් තිබෙන්නේ? අපි අපේ කාර්ය භාරය කරමින් ඉන්නවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් වෙලා තිබෙනවා.
වංචා දූෂණ ගැන පමණක් නොවෙයි. අපරාධ පිළිබඳ පවා, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව දියත්වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සහ දරමින් තිබෙනවා අප්‍රේල් මාසයේ 21 වැනිදාට පෙර එයට වගකිව යුතු, සැලකිය යුතු කණ්ඩායමක් හෙළිදරව් කරන්න. මේ වන විටත් ඔබතුමන්ලා දන්නවා හිටපු ඇමතිවරු 03ක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. හිටපු එක ඇමති කෙනෙක් හැංගිලා ඉන්නවා.
ඔහේ හිටපුවාවේ. කලබල වෙන්න එපා ඒවට. හිටපු පොලිස්පතිවරයෙක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. ඒ කියන්නේ මොකක්ද? මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත් කරන්න කටයුතු කරලා. තවත් ගොඩක් ප්රවෘත්ති ඉස්සරහට දිනපතා අහන්න හම්බවෙයි."