මහනුවර - යාපනය ඒ- නවය මාර්ගයේ තිරප්පනය පොලිස් වසමේ, 117 වන කිලෝමීටර් කණුව අසලදී අද (14දා) උදෑසන මෝටර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හිටපු ක්රිකට් ක්රීඩක ලහිරු තිරිමාන්න, ඔහුගේ මව ඇතුළු සිව් දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව තිරප්පනය පොලිසිය පවසයි.
කැකිරාව දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කල ලහිරු තිරිමාන්න රැගත් මෝටර් රථය අනුරාධපුර සිට මරදන්කඩවල ප්රදේශයට ගමන් කල ලොරි රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් කල ලහිරු තිරිමාන්න ක්රීඩකයාගේ උදරය ප්රදේශයේ තැලීම් තුවාල සිදුව, මවගේ උකුල් ඇටය ප්රදේශයට තුවාල සිදුව ඇති බවත්, එම අනතුරින් කාර් රථ රියදුරා සහ ලොරි රථ රියදුරාද තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ එම සිව් දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ලහිරු තිරිමාන්න ඇතුළු තිදෙනකු අනුරාධපුර රෝහලේ 11වන වාට්ටුවේ ප්රතිකාර ලබන අතර මව එම රෝහලේ 4 වන වාට්ටුවේ ප්රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ප්රකාශකයකු පැවසීය.
තිරප්පනේ පොලිස් වසමේ ඤාණික්කුලම "අම්මා" හෝටලය ඉදිරිපිට දී අද (14දා) උදෑසන 7.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත්, කාර් රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් එම රථය දකුණු දිශාවට ධාවනය වී මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බවත් පොලිසිය සඳහන් කළේය.
අනතුරින් එම කාර් රථයට සහ ලොරි රථයට දැඩි හානි සිදුව ලොරි රථය ඉදිරිපස රෝද යුගලය ගැලවී ගොස් සුළු බෑවුම් ප්රදේශයකට වැටී පෙරලී ගොස් තිබූ බවද පොලිසිය කියයි.
ලහිරු තිරිමාන්න ක්රීඩකයා සිය මව සහ රියැදුරා සමගින් නුවර සිට අනුරාධපුර පෞද්ගලික කටයුත්තක්බ සදහා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, ලොරි රථය අනුරාධපුර නගරයේ ප්රධාන බේකරි නිෂ්පාදන ආයතනයක, මරදන්කඩවල ශාඛාව වෙත එම නිෂ්පාදන රැගෙන යමින් තිබූ එකක් බවද වාර්තාවේ.
තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතාගේ උපදෙස් මත, රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමේෂ් කුලසේකර, පොලිස් සැරයන් තෙන්නකෝන් (46288) පොලිස් කොස්තාපල් ප්රියන්ත (47834) යන නිලධාරී හෝ අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කළහ.
කසුන් රණසිංහ/අනුරාධපුර චතුරංග