කෝවිඩ් 19 වසංගතය හා සම්බන්ධ රාජකාරියේ නියුතු හෙද හෙදියන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදවත්ත මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, මින් පෙර ලිපියක් මගින් සවිස්තරාත්මකව දන්වා සිටි ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් අවදානම් සහගත හානිකර කටයුතුවලින් ඉවත් වීමට සිදුවනු ඇති බවයි.
රෝගී සත්කාර කටයුතුවල නියැලී සිටින හෙද හෙදියන් වසංගතයෙන් ආරක්ෂා කරගැනීම ප්රමුඛ වගකීමක් බවත්, එම වගකීමේ නීත්‍යානුකූල කාර්යභාරය හා තීන්දු තීරණ ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් සතුව ඇති බවත් මැදවත්ත මහතා ප්‍රකාශ කළේය.
මෙවැනි නොසලකා හැරීම් දිගින් දිගටම සිදු වුවහොත් හෙද හෙදියන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම වළක්වාලිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.
මින් පෙර සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ ලිපියට අනුව හෙද හෙදියන්ගේ ගැටලු සඳහා හෙට (07) දිනට පෙර විසදුම් ලබා නොදුන හොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සඳහන් වුවත්, ජනතාව පිළිබඳ සිතා මෙම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සහා ගන්නා බවද ඒ මහතා පැවසීය.