බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද (11) ලිඛිතව සිය විරෝධත කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණි.
මහාධිකරණ විනිසුරුවරයා තමන් වරදකාරිය කරමින් නිකුත් කළ තීන්දුව දෝෂ සහගත බවත් තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ විනිසුරුවරයා සැළකිල්ලක් දක්වා නැති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන් වරදකාරිය කරමින් දුන් තීන්දුව හා තමන්ට පැනවු දඬුවම් ඉවත දමා සිය චෝදනා වලින් තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඇය ඉල්ලා සිටින්නීය.
අභියාචනා පෙත්සම විභාග කර තීන්දුවක් දෙනතුරු තමන්ට ඇප නියම කරන්නැයයි ඉල්ලමින් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම අභියාචනා පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විශ්ව විජේසූරිය මහතා ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඉදිරිපත් කළේය.
වගඋත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ කරුණු විමසීමට තීරණය කළ විනිසුරුවරයා ජුලි 15 වැනිදා අදාළ කරුණු විමසීමට දින නියම කළේය.