ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නීතිවිරෝධී අන්දමින් සුරාබදු බලපත්‍ර නිකුත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සුරාසැල් හිමියන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, සුරාබදු පනතට පටහැණිව නීතිවිරෝධී අන්දමින් නිකුත් කර ඇති සියලු බලපත්‍ර අහෝසි කරන්නැයි ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
සුරාසැල් හිමියන් වන මහනුවර පදිංචි චාමර සම්පත් අබේකෝන් සහ එන්. රාමචන්ද්‍රන් මහත්වරුන් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරු සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඇතුළු 39දෙනෙකු නම් කර ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරන පෙත්සම්කාර මත්පැන් හල් හිමියන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නීතියට පටහැණි අන්දමින් දේශපාලන අරමුණු මත අත්තනෝමතික ලෙස වගඋත්තරකාර බලධාරීන් විසින් මත්පැන් හල් සඳහා බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇතැයි සඳහන් කර ඇත.
පැවති ආණ්ඩුවේ හිතවතුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්ට සහ ආධාරකරුවන්ට මෙම බලපත්‍ර නිකුත් කර ඇති බව ජනමාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු බවත්, නිසි ක්‍රියාපටිපාටියට අනුව මත්පැන් හල් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී එක් බලපත්‍රයක් සඳහා රජයට රුපියල් මිලියන 15ක මුදලක් ලැබෙන බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, නීතිවිරෝධී අන්දමින් මෙලෙස සුරාසැල් බලපත්‍ර නිකුත් කිරීමෙන් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇතැයිද සඳහන් කරති.
මෙම සමස්ත ක්‍රියාවලියෙන් තමන් ඇතුළු මුළුමහත් ජනතාවගේ අයිතිවාසිකම් කඩවී ඇතැයිද, එබැවින් තම පෙත්සම් විභාගයට ගැනීමට නියෝග කරන්නැයිද රටේ ජනතාවගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නිකුත් කළ නව සුරාසැල් බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
මේ පිළිබඳ සොයා බැලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයිද, සිද්ධියට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති දූෂණ හා වංචා සොයා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ, නිකුත් කළ නව සුරාබදු බලපත්‍ර අත්හිටුවන්නැයිද ඉල්ලා සිටිති.