සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදලක් බැංකු ගිණුමක තැන්පත් කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙලඹවීමෙන් ‘දූෂණය’ නමැති වරද කළ බවට හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (18දා) නියම කළේය.
රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරු මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මාර්තු 27 වැනිදා පැවැත්වීමට තීරණය කළේය.අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ප්‍රියංකර ජයරත්න මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි අධිචෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී ඔහුට භාර දුන්නේය.
2013 සැප්තැම්බර් 21 වැනිදාත් ඔක්තෝබර් 24 වැනිදාත් අතර කාල සීමාවෙහි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් 4,94,000/-ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුව ගිණුමකට බැර කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙලඹවීමෙන් අල්ලස් පනත යටතේ දැක්වෙන ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
විත්තිකාර ප්‍රියංකර ජයරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව පෙනී සිටින තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ඇප නියම කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවීමට නියම කළේය.
සචිත්ර ගුණසේකර