විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනැගීමේදී එහි පෙරමුණ ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවී සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්ට ආණ්ඩුවෙන් තර්ජන පවා එල්ල වූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුවෙන් පමණක් නොව විපක්ෂයෙන්ද තර්ජනාත්මකස්වරූපයෙන්, ආයාචනාත්මක ස්වරූපයෙන් හා ඉල්ලීම් ලෙස මෙම වේදිකාවට ගොඩනොවන ලෙස ඔවුන්ට ඇමතුම් පැමිණි බවද දිසානායක මහතා කීවේය.
අභූත චෝදනා කරමින් විශ්‍රාමික පොලිස් නිලධාරීන් දඩයම් කිරීමේ 'කැත වැඩේ' නතර කරන ලෙස ඔහු සාගල රත්නායක මහතාගේ නම අමන්ත්රණය කරමින් කියා සිටියේය.
කිසිදු තර්ජනයකට බිය නොවී, පලා නොයමින් ජාතික ජනබලවේගය සමග එක් වූ සියලු පොලිස් නිලධාරීන්ට දිසානායක මහතා සිය ස්තූතිය පළ කළේය.
පොලිස් සේවයේ රාජකාරිය ඉක්මවා යන යුතුකමක් වෙනුවෙන් විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික ජනබලවේගය සමග එකතු වී සිටින බව දිසානායක මහතා පැවසීය.
ජාතික ජනබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (09දා) පැවැත්විය. එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් දැක්වීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ , හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. එමෙන්ම විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ මාර්ක්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුල්ශාන් නාගහවත්ත යන මහත්වරුන්ද මීට එක්ව සිටියහ.
'මාලිමාවේ වේදිකාවට නගින්න එපා' යැයි ජාතික මට්ටමේ බුද්ධි ආයතනයකින් විශ්‍රාමික සාමූහිකයේ නිලධාරීන්ට තර්ජනය කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවී සෙනෙවිරත්න මහතා තමන්ටද එවැනි ඇමතුම් ලැබුණ බව ප්‍රකාශ කළේය.
මෙම පොලිස් සාමූහිකය නීතිගරුක, ප්රජාතන්ත්රවාදී සාමූහිකයක් බවත්නැවත පොලිස් රාජකාරී කිරීමට හෝ පොලීසියට බලපෑම් කිරීමට කිසිදු අරමුණක් නොමැති බවද ඔහු සඳහන් කළේය.