අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලවල් තුල සීඝ්රයෙන් පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන්, ඌරන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීහු පවසති.
මේ වන විට පැටවුන්ද සමග ඌරන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට ඇති බවත්, හඳුනා නොගත් මෙම වයිරසය , ඌරන්ට වැළඳීමෙන් පසුව දින දෙකකින් පමණ මරණයට පත්වන බව ඔවුහු පැවසූහ.
මේ වන විට ඌරන් අටසීයක් සිටින ගොවිපළවල්වල ඌරන් දෙසීයක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඌරන් තුන්සියයක් පමණ සිටින ගොවිපළවල්වල ඌරන් පනහත් හැටත් අතර ප්‍රමාණයක් මේ වන විට මරණයට පත්ව ඇති බවත්, මියගිය පැටවුන් සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් ගණනය කර නොමැති බවත් එම ගොවීන් සඳහන් කළහ.
මෙම ප්‍රදේශයේ ආශ්‍රිතව ඌරු ගොවිපළවල් විස්සක් පමණ ප්‍රමාණයක් පවතින අතර එම සියලුම ගොවිපළවල්වල ඌරන් මේ ආකාරයෙන් මිය යමින් සිටින බව මෙහිදී දැක ගත හැකි විය.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පශුවෛද්‍යවරයාව හා එම නිලධාරීන්ව දැනුවත් කලද මෙතෙක් ඊට විසදුම් ලබා දීමට පියවර ගැනීම පමණක් නොව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ගොවිපළවල් වෙත පැමිණීමට ද මෙතෙක් කටයුතු කර නොමැති බව පවසන එම ගොවීහු පැවසූවේ, මෙම වෛරසය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සතුන් බේරා ගැනීමට අදාල අංශ කඩිනමින් කටයුතු කල යුතු බවය.
විශාල වශයෙන් ඌරන් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඇතැම් ගොවිපළවල්වල හානිය රුපියල් කෝටිය ඉක්මවන බවද මාධ්‍ය වෙත අදහස් පලකරමින් එම ගොවීන් පෙන්වා දුන්හ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම නුවරගම්පලාත් පශු වෛද්‍ය ප්‍රසාද් මඩාටුව මහතාගෙන් අප කල විමසීමේදී කියා සිටියේ ඌරන්ට වැළඳී ඇත්තේ වෛරසයක් බැවින් ඒ සඳහා එන්නත් නොමැති බවය. වෛරසය පාලනය කිරීම සඳහා හරකුන්ට සහ කුකුලන්ට ලබා දෙන එන්නත් වැනි ඖෂධ ඌරන්ට ලබා දීම සඳහා ඒවා පශු වෛද්‍ය කාර්යාල වල නොමැති බවයි.
කෙසේ වෙතත් එම ප්‍රදේශයේ මේ වන විට වෛරසය ව්‍යාප්ත නොවූ ගොවිපොළවල්වල් පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී එම වෛරසය නොවැළදුනු ඌරන් සඳහා එන්නතක් ලබාදීමටත් පියවර ගනුලැබූ බවත් එම පශුවෛද්‍යවරයා පැවසීය .