බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ හෙට (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය.
මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් පාපොච්චාරණය කිරීම සඳහා ඔහු හෙට (04) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් මෙම සැකකරු වෙන් කර රඳවා තැබීමටද නියම කළාය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සැකකාර සමන් රත්නායක නමැත්තා පසුගිය පළමුවැනිදා රහස් පොලිසියට පැමිණී අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර පසුගිය 02 වැනිදා ඔහු මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් වු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් දීමට සුදානම් බවට කළ දැනුම් දීමකට අනුව එලෙස නියම කළාය.
සැකකාර සමන් රත්නායක නමැත්තා බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට කැමැත්ත පළ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ රහසිගතව කරන මෙම ප්‍රකාශය යම් අවස්ථාවක ඔබට එරෙහි සාක්කියක් වශයෙන් භාවිතා වීමට හැකියාව ඇති බවත් ඇතැම් විට ඔබ මෙම නඩුවේ සාක්කිකරුවකු කිරීමට හැකියාව ඇති බවත් පෙන්වා දුන් අතර ඒ අනුව ඒ පිළිබඳ හොඳට සිතා තීරණයක් ගන්නා ලෙස සැකකරුට දැනුම් දුන්නාය.
සැකකරු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමටද බන්ධනාගාර අධිකාරීවරයාට වැඩිදුරටත් නියම කළාය.