මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දසවැනි පාර්ලිමේන්තුව සඳහා පළමුවැනි රැස්වීම පසුගියදා (19) දින කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය කාලයේ ඇතිවූ බහාලුම් තදබදය තුළ ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙහිදී විමසීම් සිදුකළහ. මෙය රජයේ වුවමනාව මත සිදුකළායැයි රජයට ඇතැම් පාර්ශ්ව දේශපාලනිකව චෝදනා කරන බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිළි කිරීමක් නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් සමාජගත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දක්වමින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙවැනි තදබදයකදී අනුගමනය කරන තාක්ෂණික ක්‍රමවේදයක් ලෙස මීට පෙර අවස්ථා 4කදීත් මෙලෙස කන්ටේනර් නිදහස් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඔවුන්ට මෙම කරුණු වාර්තා කළ බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත් කරමින් ව්‍යාජ තොරතුරු සංසරණය වන බැවින් ඉතා පැහැදිළිව මෙම සිදුවිීමට අදාළ කරුණු නිරවුල් විය යුතු බවයි.
සමාජ සුබසාධන මණ්ඩලය විසින් අස්වැසුම ප්රතිලාභ ලබාදීම සඳහා මීට පෙර රැස්කළ තොරතුරුවල ගැටලු පවතින බව මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවේ අවධානයට යොමු කළහ. මේ සඳහා දත්ත රැස්කිරීමේදී රාජ්‍ය නිලධාරීන් එයට අකමැත්ත පළ කිරීම හේතුවෙන් විවිධ පුද්ගලයන් මෙයට සම්බන්ධ වූ බවත් ඒ හරහා දත්ත එකතු කිරීමේදී සිදුවූ අඩුපාඩු සිදුවූ බවත් සමාජ සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
ඉල්ලුම්පත්‍ර ලක්ෂ 8කට ආසන්න ලැබූ බවත් මින් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් සංගණන කටයුතු අවසන් බවත් ඒ අනුව පෙර පැවති අඩුපාඩු සකස් කර ලබන ජූලි වන විට එම කටයුතු අවසන් කරන බවත් ඔහු පැවසීය. සංගණනයේදී සත්‍ය වශයෙන් ප්රතිලාභ හිමිවිය යුතු ප්‍රද්ගලයන් ඉවත් නොවීමට වගබලා ගතයුතු බවත් මන්ත්‍රීවරු අවධාරණය කළහ. එසේම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමේ වෙනස්වීම් සකසා ගැනීම වැනි සුළු යාවත්කාලීන කිරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ අවශ්‍යතාවයත් ඔවුහු මෙහිදී පෙන්වා දුන්හ.
අස්වැසුම ලාභීන්ට වැඩිහිටි දීමනාව ලබාදීමේදී ප්රතිලාභියාටම එය නොලැබී පවුලේ සාමාජිකයෙකුගේ බැංකු ගිණුමට බැරවීම හරහා ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් අදාළ මුදල තැපැල් කාර්යාල හරහා පමණක් ලබා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් ද ඉදිරිපත් විය. මෙහිදී සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමග සාකච්ඡාකර වඩාත් ප්‍රායෝගික තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.
දේශීය ආදයම් පනත සංශෝධනය කිරීම මගින් 15% ක සේවා අපනයන බද්දක් අයකිරීම පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී කරුණු විමසූහ. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සාධාරණ බවේ මූලධර්මය යොදා ගනිමින් මෙම 15% උපරිම සීමාවකට යටත්ව මෙම පියවර ගත්බවයි. එසේම මෙම මෙම 15% අගය ලැබෙන ආදායම මත අය කරන බවට වැරදි මතයක් සමාජගතවන බවත් එම බද්ද ආදායමට නොව ලාභයට පමණක් අයකරන බවත් ඔවුහු පෙන්වා දුන්හ. එසේම එක් රටකදී බදු ගෙවනු ලැබූ විට නැවත බදු අයකිරීම වැළැක්වීමට හෙවත් ද්විත්ව බදුකරණය වැළැක්වීමට පියවර ගෙන ඇති බවත් ඔවහු පෙන්වා දුන්හ.
එසේම 36%ක උපරිම සීමාවකට යටත්ව අනෙකුත් පුද්ගලයන් ආදායම් බදු ගෙවන පසුබිමක මෙම බදු අය කිරීම 15%ක උපරිම සීමාවකට යටත්ව සිදුකරන බවත් අගය මීට පෙර මේ සදහා යෝජනාවී තිබූ 30%ක අගය අඩකින් අඩුකර 15% අගයට ගෙනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරු පෙන්වා දුන්හ. ඒ අනුව සමාජ සාධාරණත්වය පදනම් කරගනිමින් සියලු දෙනා බදුකරණයට යටත් කර ගැනීම වෙනුවෙන් ගත් මෙම තීරණයෙන් කිසිවකුටත් අගතියක් සිදු නොවන බවත් ඔවුහු අවධාරණය කළහ.
2024 වසරේ ජන හා නිවාස සංගණනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු විය. නිලධාරීන් 40000ක ප්‍රමාණයක් පුහුණුවකින් අනතුරුව මීට යොදවාගත් බවත් එම කටයුතු අවසන් අදියරේ ඇති බවත් මෙහිදි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ. සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ දත්ත මත පදනම්ව බැවින් නිවැරදි දත්ත රැස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී මන්ත්‍රීවරු අවධාරණය කළහ.
පැරණි පනත් වෙනුවට නව ජන සංඛ්‍යාලේඛන පනතක් කෙටුම්පත් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී වඩාත් විශ්වසනීයව දත්ත රැස්කිරීම සඳහා ක්‍රමවේදයක් හදුන්වාදීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරීහු කාරක සභාවට පැවසූහ.