අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි කියන රුපියල් කෝටි 10 ක් වටිනා වී8 සුඛෝපභෝගී මෝටර් රථය රුපියල් මිලියන 100 ක් වටිනා බැඳුම්කරයක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය.
මෙම වී8 සුඛෝපභෝගී මෝටර් රථයට අදාළ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්නගත මෝටර් රථයේ එන්ජිම පරික්ෂා කිරීමට අවශ්‍ය නම් එය ගලවා ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂවරයා දැනුම් දී ඇතැයිද ඒ හැර රස පරීක්ෂක වාර්තාවේ වෙනත් ගැටලු සහගත තත්වයක් නොමැති බවට කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
ප්‍රශ්නගත වාහනය 2010 වසරේදී ශ්‍රී රංගා මහතා මෙරටට ආනයනය කර ඇතැයිද ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ගත්තේ යැයිද පාර්ලිමේන්තු වරප්‍රසාද මත ලැබුණු බලපත්‍රයකින් ප්‍රශ්නගත වාහනය මෙරටට ආනයනය කළ බවත් ඒ සඳහා රුපියල් මිලියන 7ත් 8ත් අතර මුදලක් ණයට ගත් බවත් ඔහු පැවසුවේ යැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු 2014 වසරේදී සුජීව සේනසිංහ මහතා මිලියන 8 කට වාහනය මිලදී ගත් බව ශ්‍රී රංගා මහතා ප්‍රකාශ කර ඇතැයිද දැනුම් දුන්හ.
වාහනයේ ප්‍රධාන ලාම්පුව ඇතුළුව කොටස් කීපයක් වෙනස් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුම් දුන්හ.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් මෙම රථය එකලස් කළ එකක් බවට කිසිඳු කරුණක් රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය නොවන හෙයින් වාහනය බැඳුම්කරයක් මත එහි ලියාපදිංචි අයිතිකරු වන තම සේවාදායකයාට මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය බැඳුම්කරයක් මත අදාළ වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ මහතාට මුදාහැරීමට නියම කළාය.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්හාන් කාසිම්, නීතිඥවරුන් වන හරිත් හෙට්ටිආරච්චි, තලාල් ෆවුස් සහ තිළිණ වීරසිංහ සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.