අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබූ වාණිජ අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්වරයෙකුට අයත් රුපියල් 550,000/= ක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය කියයි.
කොස්තාපල්වරයා ඊයේ (26) පෙරවරු 6 ට පමණ එම යතුරුපැදි යෙන් රාජකාරිය සඳහා පැමින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා රාජකාරී සඳහා ගොස් මීගමුව අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා පෙනී සිට නැවත වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ සවස 3.10 ට පමණ ලිපියක් බාර දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යාම සඳහා යතුරුපැදිය නවතා තිබූ ස්ථානය වෙත පැමිණ බලද්දි යතුරුපැදිය එම ස්ථානයේ නොමැති බව දැක ප්රධාන දොරටුවේ රාජකාරී නිරතව සිටි නිලධාරීන් දැනුවත් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිය භාරදීම සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ එහි නිලධාරීන් සමඟ යතුරු පැදිය නවතා තිබූ අවට ස්ථානවල සෝදිසිකර සොයා ගැනීමට නොහැකි වූ බැවින් යම්කිසි පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇති බවට සඳහන් කරමින් පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එල් එල් විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශනා අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පණ්ඩිත රත්න මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි.