කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ලබන ලාබාල සිසුවියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ ඉංග්‍රීසි ගරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. සැකකාර ගුරුවරයා වැල්ලව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී පොලීසියට ලද තොරතුරකට අනුව සිද්ධියෙන් මාස හතරකට පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපයෝජන සිද්ධිය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී වාර්තාවී තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව සේවයට පවා වාර්තා නොකර සැකකරු තැනින් තැන සැඟවෙමින් සිටි බවද පොලීසිය සඳහන් කළේය.
මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව සෑහීමකට පත් නොවන බව දන්වමින් එම පාසලේ දෙමාපියන් සහ ආදි සිසුන් පිරිසක් එක්ව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාටද පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි. දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව කුරුණෑගල ළමාරක්ෂක අධිකාරියේ නිලධාරිනියන් විසින් කරන ලද විමර්ශනයකින්ද සැකකරු එම වරද සිදු කර ඇති බව අනාවරණයවී තිබේ.
එම පාසලේ හයවන වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පස් දෙනෙකුගේ සිරුරු ස්පර්ශ කරමින් ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයා විසින් මෙලෙස සිසුවියන් අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
විශ්‍රාම යාමට තවත් වසර එකහමාරක් පමණ ඇති අවුරුදු පනස් හතක් වයැසැති අවිවාහක ගුරුවරයෙකු වන සැකකරු මෙම සිද්ධියෙන් අනතුරුව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේවනවිට සේවයද අත්හිටුවා ඇති බව වාර්තාවේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාසලේ ඉංග්‍රීසි විෂයය උගන්වන අතරේදී අවස්ථා කීපයකදී එම ගුරුවරයා අතින් සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇති බවද ඔවුන් ඒ පිළිබඳව තම දෙමාපියන්ට දැනුම් දීමෙන් අනතුරුව මෙම සිද්ධිය ප්‍රසිද්ධවී ඇති බවද කියයි.
පාසලට මෙම සිද්ධිය නිසා අපකීර්තියක් ගෙන දෙතැයි පවසමින් විදුහල්පතිවරයා අපයෝජනයට ලක්වූ සිසුවියන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට මෙම සිද්ධිය ප්‍රසිද්ධ නොකරන ලෙස දන්වා චූදිත ගුරුවරයා කුරුණෑගල අධ්‍යාපන කලාපයේම වෙනත් පාසලකට මාරුකර යැවීමට ඔහු පියවර ගෙන තිබූ බවටද දෙමාපියන් සහ ආදි සිසුන් චෝදනා කළහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයටද පැමිණිලි කළද එයින්ද සාධාරණ පරීක්ෂණයක් සිදුව නැති බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ආදි සිසුන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට සහ අවසානයේදී කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යලයටද පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.