පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍රික සිවිල් ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය බෝගහවිල පාර අංක 35 / 08 / C හි පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධනුෂ්ක රුක්ෂාන් රාජපක්ෂ නමැති (41) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු එකහමාරක සහ තුනක දරු දෙදෙනා බලා ගනිමින් නිවස තුළ සිටියදී වර්ෂාවත් සමග ඉහළ මහලේ වහලයෙන් ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවිකිරීම සඳහා තනිවම වහලයට නැග එය සවි කිරමින් සිටියදී අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටි නිවෙස් දෙකක් අතර අඩි නමයක් පමණ වූ හිස් බිමකට ඇද වැටී අනතුරක් සිදුව තිබේ.
මේ බව කිසිවක් නොදත් යාබද නිවසේ කාන්තාවක් පිටිපස දොර විවර කර පිටතට පැමිණීමේදී ඒ ඉදිරිපිට පුද්ගලයකු වැටි සිටිනු දැක , පසුව විපරම් කර බැලීමේදී ඒ යාබද නිවසේ පුද්ගලයා බවට හඳුනාගෙන ඔහුගේ බිරිඳට දන්වා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇතත් වෛද්‍යවරුන් පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි.
ඒ අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කරන ලදී.
පසුව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනෙවිරත්න මහතා මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුව උසක සිට පහළට වැටීමෙන් මොළයට සුසුම්නාවට සිදු වූ බරපතල තුවාල මරණයට හේතුව බවට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.
සිද්ධිය වූ ස්ථානයේ වහලයේ තිබී බැටරියකින් පණ ගැන්වෙන ඩ්‍රිල් යන්ත්‍රයක් හා අනතුරට ලක්වූ පුද්ගලයා වැටී සිටි ස්ථානයේ තිබී මිටියක් හා හිස් වැසුමක් පොලිස් නිලධාරීන් සොයාගෙන ඇති අතර වහලය මත සිටියදී පය ලිස්සා අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මාණවඩු මහතාගේ උපදෙස් මත පො.කො (103932) වෙලගම නිලධාරීහු පරීක්ෂණ පවත්වති.