රුපියල් කෝටි 17 ක රූපවාහිනී වෙළඳ දැන්වීම වසර 05 ක් ගියත් විකාශය කර නෑ
කෝටි 04 ක තවත් නිර්මාණ 31 ක් හමස් පෙට්ටියට
කෝටි 17 ක වැයෙන් හැදූ වෙබ් අඩවිය ඵලදායි නෑ
කෝටි 11 ක මාධ්‍ය සැලසුම් අවුරුදු 05 ක්ම ගල්වෙලා
ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් " සිලෝන් ටී'' ගෝලීය ප්‍රවර්ධනය හා අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන් වූ නිර්මාණාත්මක මාධ්‍ය ප්‍රචාරණ වැඩ සටහන් සඳහා ඉකුත් වසර කීපය තුළ රුපියල් 494 ,193,434 ක මුදලක් වැයකර තිබුනත් එම වැඩ සටහන් මේ දක්වා ප්‍රචාරණය කර හෝ ඵලදායීව භාවිතාකර නැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මෙම අනාවරණය සිදුකර ඇත්තේ විගණන කාර්යාලය විසින් ඉකුත් වසරට අදාළව තේ මන්ඩලය වෙනුවෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගිනි.
මේ අනුව " සිලෝන් ටී" ගෝලීය ප්‍රවර්ධනය වෙනුවෙන් ඉහළ ප්‍රචාරණය සඳහා රුපියල් 174,332,138 ක මුදලක් වැයකර ඉංග්‍රීසි බසින් රූපවාහිනී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමට හා එය වෙනත් විදේශීය භාෂාවන් කීපයකට පරිවර්තනය කර තිබුනත් එම දැන්වීම මෙතෙක් ප්‍රචාරය කර නැතැයි විගණන කාර්යාලය සඳහන් කරයි.
එමෙන්ම මේ ප්‍රචාරණ කාර්යන් සඳහාම රුපියල් 39,832,808 ක් වැයකර තවත් නිර්මාණාත්මක කාර්යන් 31 ක් සකස් කර ඇතත් ඒවාද මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විගණනයෙන් පෙන්වා දෙයි.
"සිලෝන් ටී " ගෝලීය ප්‍රවර්ධනය සහ මාර්ගගත තේ අලෙවිය සඳහා රුපියල් 172,939,768 ක් වැයකර නිර්මාණය කර තිබූ www.pureceylontea.com නැමති වෙබ් අඩවිය හා අනෙකුත් භාෂා පරිවර්තික වෙබ් අඩවිවලින් මෙම ප්රචාරක වැඩ සටහනේ අරමුණු ළඟාකර ගැනීම උදෙසා ඵලදායී කාර්යයක් සිදුව නැතැයි එය පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණැයි විගණනය පෙන්වා දෙයි.
තවද මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය සමීක්ෂණ හා මාධ්‍ය සැලසුම් සැකසීම වෙනුවෙන් රුපියල් 107,088,740 ක් වැයකර තිබේ.එහෙත් එම කාර්යයන්ද වසර ගණනාවක් ගත වුවත් ක්‍රියාත්මක කිරීමට පියවරක් ගෙන නැති බවත් විගණනයේදී අනාවරණය වූ බව විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉකුත් වසර පහ තුළ සකස් කළ මාධ්‍ය සමීක්ෂණ හා මාධ්‍ය මිලදී ගැනීමට අවශ්‍ය සැලසුම් අදාළ කාල පරාසයන් තුළ සිදු නොකළ බවත් කොවිඩ් වසංගතය ,බාහිර බලපෑම් සහ ශ්‍රී ලාංකික ප්‍රසම්පාදන ක්‍රම වේදයන් නොගැලපීම හේතුවෙන් මේ කාලය තුළ ප්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදය හා ගෝලීය ප්‍රවර්ධන කටයුතු ඇරඹීමට ප්‍රමාද වී ඇතැයිද ඇතැම් කාර්යන් සිදු නොවූ බවද මේ සම්බන්ධයෙන් තේ මණ්ඩලයේ කළමනාකාරිත්වය විගණනයට අදහස් දක්වා තිබේ.
මෙම ගෝලීය ප්‍රවර්ධන වැඩ සටහනේ මේ දක්වා කටයුතු පිළිබඳව මූලික විමර්ශනක් සිදු කිරීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයිද තේ මණ්ඩලය විගණනයට දන්වා ඇත.
මෙම නිර්මාණාත්මක කාර්යන්හි වර්තමාන සහ ඉදිරි භාවිතයට ඇති හැකියාව පිළිබඳව නිසි ඇගයීමක් සිදුකර ඒ මත පදනම්ව ගෝලීය ප්‍රවර්ධනය හා අලෙවි වැඩ සටහන් ක්‍රියාත්මක කලයුතු බව විගණනයෙන් නිර්දේශ කර තිබේ.
ජේ. ඉඳුරුවගේ