කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු 09/12 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් දෙකකි.
මොවුන් 09/12 උදෑසන 07.20 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත , ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර , එහිදී සේවය කළ ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත , මොවුන් , ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී තිබේ.
ඉන්පසුව මෙම සිරියානු ජාතිකයන්ගෙන් සිදු ප්‍රශ්න කිරීම් වලදී තමන් මෙම ගමන් බලපත්‍ර එකක් ඇමෙරිකානු ඩොලර් 2,000 බැගින් තැරැව්කරුවෙකු වෙත ගෙවා, තුර්කියේ දී සකස් කර ගත් බව අනාවරණය කර තිබේ.
මෙම ගමන් බලපත්‍ර පරිලෝකන යන්ත්‍ර ( Scaner Test ) , ඉලෙක්ට්‍රොනික් ගේට්ටු ( Electronic Gates ) වැනි නවීනතම පරීක්ෂා කිරීම් වලදී ද හසු නොවන ආකාරයට , අධිතාක්ෂණික චිපයන් යොදා සකස් කර තිබේ .
මෙවැනි අධිතාක්ෂණික ගමන් බලපත්‍ර , මුල් අවස්ථාවේ දීම හදුනා ගැනීම ඉහළ වෘත්තීය පළපුරුද්ද සහිත කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කරන ආගමන විගමන නිලධාරීන්ට හැකි වීම ඔවුන්ගේ උසස් වෘත්තීය පරිනතභාවයට නිදසුනකි.
මෙම සිරියානු ජාතිකයන් පිරිස මුළින්ම මැලේසියාව වෙත පැමිණ එතැනින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ . ඉන්පසුව ඔවුන් ඉන්දියාවට ගොස් එතැනින් ඉතාලිය වෙත පළා යාමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
අත් අඩංගුවට ගත් මෙම සිරියානු ජාතිකයන් පිරිස මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .