අනුරාධපුර පොලිස් කොට්ඨාසයට අයත් ගිරානේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදු ක්‍රීඩාවේ (බූරු ගැසීමේ) නිරත වීමට අවස්ථාව සලසා දී, සිර මැදිරිය තුළ මත්පැන් පානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු අද (11දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරානේගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකු , පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.එම පොලිස් වසමේ වැටලීමක් සිදු කර සූදු කෙළියෙහි නිරතව සිටි 10 දෙනකු අත්අඩංගුවට ගෙන රඳවා සිටියදී ඔවුන් සිර මැදිරියෙහි සූදූ ක්‍රීඩාවේ නිරතව සිට ඇති බව පොලීසිය කියයි.
එම සැකකරුවන් පිරිස පොලිස් සිර මැදිරියෙහි සූදු ක්‍රීඩාවේ නිරතවන අන්දම සැකකරුවෙකු විසින් ජංගම දුරකථනයකින් ඡායා රූපයක් ගෙන එය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.එම සැකකරුවන් පිරිස නීති විරෝධී නොවන අයුරින් අත්අඩංගුවට ගැනීම, අයුතු සිරකර තැබීම , සිර මැදිරියෙහි මත්පැන් පානය කිරීම සහ සූදු ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව ලබා දීම යන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (11දා) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග ලැබුණු බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් විජේතුංග (35090) මහතා අධිකරණයට කරුණු දැක්වීය.