උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමේ දී සිංහල දෙමළ මුස්ලිම් යන සියලුම ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට තමන් සූදානම් බවත් 75වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි තමා ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේ දී ඊයේ (19) විවෘත කරමිනි.
බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද විවිධ හේතූන් මත දුක් විඳී බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
වවුනියා දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්රමයේ නිවාසලාභීන් 120 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්රදානය යටතේ සංකේතාත්මකව 30 දෙනෙකු වෙත හිමිකම් ඔප්පු ප්රදානය කිරීම සහ උතුරේ පැවති යුද ගැටුම් හේතුවෙන් දේපළ අලාභ හානි සඳහා වන්දි හිමිකම් හිමි 96දෙනෙකුගෙන් 12 දෙනෙකු වෙත සංකේතාත්මකව මුදල් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර බෙදාදීම සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකුට පොහොර බෙදාදීම ද සංකේතාත්මකව සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මේ කාර්යාලයේ ඉඳන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. කාදර් මස්තාන් ඇමතිවරයා කිව්වා හැමදේම යාපනයට විතරයි ලබා දෙන්නේ කියලා. ඔන්න දැන් වව්නියාවේත් කාර්යාලයක් විවෘත කරල තියෙනවා.
කාර්යාලයේ නිලධාරියකු මෙම කටයුතු සඳහා සම්බන්ධ වනවා. අමාත්‍යංශවල නිලධාරීනුත් මෙම කාර්යාලයට ඇවිල්ලා උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා. සියලුම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීය යුතුයි .
ත්‍රස්තවාදයෙන් ඇති වූ ප්‍රශ්න සහ උතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දිය යුතුයි . ඒ වගේම මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා සමාජයේ තමන්ට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කඳුකරේ ජනතාවටත් විවිධ ප්‍රශ්න තිබෙනවා . මෙම ප්‍රශ්න සියල්ල විසඳන්න ඕනේ කියලා සමාජ මතයක් තියෙනවා.
ඒ නිසා මේ සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙන්න මේ හොඳම කාලයයි. මෙම ප්‍රශ්නවලට ක්‍රමානුකූලව විසඳුම් ලබාදිය යුතුයි. මේ ගැන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. රට බෙදන්නේ නැතුව ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
පළමුව ජනතාවට තිබෙන සැකය දුරු කළ යුතුයි. අපි සියලුදෙනා එක්ව වැඩ කිරීමේදී එම සැකය දුරු වී යාවී. යුද්ධය නිසා දුක් වින්ද ජනතාවට සැනසුමක් ලැබේවි. 83 ඉඳන් අපි ලොකු දුරක් ඇවිල්ල තිබෙනව. ඒ වගේම 2009 සිට ලොකු දුරක් ඇවිල්ලා තිබෙනව. මට ජාතික ගීයේ වචන පෙළක් මතක් වුණා. ඒ “එක මවකගේ දරුවන් ලෙස ජීවත් වීම” යන්නයි. 75 වන නිදහස් උළෙලේදීවත් එක මවකගේ දරුවන් ලෙස ජීවත් වෙන්න හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා."