ලබන මස 01වැනිදා සිට අය කිරීමට නියමිතව තිබෙන 2.5%ක සමාජ ආරක්ෂක බද්ද කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් එදින සිට සහල් කිලෝවක මිල රුපියල් 6.00කින් ඉහළ දැමීමට සිදුවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා අදාළ බද්ද කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද, ඒ සඳහා මෙතෙක් ප්රතිචාර ලැබී නොමැති බවද එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.
එබැවින් සහල් සඳහා පනවා තිබෙන සහතික මිල රුපියල් 6.00කින් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, සහතික මිල ඉහළ දැමීමට කටයුතු නොකළහොත් වී කිලෝවක් මිලදී ගන්නා මිල රුපියල් 3.00කින් අඩු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
රජය විසින් නාඩු වී කිලෝවක් මිලදී ගත යුතු මිල රුපියල් 120ක් ලෙස ප්රකාශයට පත් කර තිබෙන නමුත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට අලෙවි කළ යුතු බවට නීතියක් පනවා තිබෙන නිසා රජයේ සහතික මිලට වී ලබාගෙන සහතික මිලට සහල් ලබාදිය නොහැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා මෝල් හිමියන් විසින් වී කිලෝවක් මිලදී ගන්නේ, රුපියල් 112 - 115 අතර මුදලකට බවත්, මෙම මුදලට වී අලෙවි කිරීමෙන් ගොවීන්ට විශාල පාඩුවක් සිදුවන බවත් හෙතෙම පැවසීය.
සමාජ ආරක්ෂණ බද්දට සාපේක්ෂකව සහල් කිලෝවක් රුපියල් 6.00 ඉහළ දැමීමට රජය කටයුතු නොකළහොත් මොල් හිමියන්ට ඇති වන පාඩුව වළක්වා ගැනීම සඳහා වී කිලෝවක් දැනට මිලදී ගන්නා මිලට වඩා රුපියල් 3.00කින් අඩුවෙන් වී මිලදී ගැනීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.