ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අයකර ගැනීමට සුදානම් වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
අදාළ මුදල් දෙසැම්බර් 25වන දිනට පෙර ලබාදෙන ලෙසත් එසේ නොමැති වුවහොත් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට සිදුවන බවත් සංස්ථාව දන්වා ඇති බවද බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
සිපෙට්කෝ ඉන්ධන හල් 238ක් මේ වන විට ක්රියාත්මක වන අතර එම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනට සියයට 2.75ක කොමිස් මුදලක් හිමිවන බවත් සඳහන්.
එමෙන්ම ඉන්ධන හල්වලට මේ වන විට හිමිවන කොමිස් මුදලින් සියයට 0.25ක් මාසික පරිහරණ ගාස්තු ලෙස සංස්ථාව අයකරගන්නා බව ඉන්ධන බෙදුම්කරුවන් සඳහන් කළේය.
මෙම තත්ත්වය මත තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවද ඔවුන් පෙන්වාදෙයි.
2006 වසරේ දී මෙම යෝජනාව ඉදිරිපත් වුවද 2014 වසරේ දී සිදුකළ සාකච්ඡාවලින් පසුව මෙන්ම 2021 වසරේ අධ්යක්ෂ මණ්ඩල තීරණයකින් මෙම පරිහරණ ගාස්තු අය කිරීම අවලංගු වු බවද සඳහන්ය.
එසේ තිබිය දී අංක 1053 දරණ චක්රලේඛය මඟින් ඉන්ධන පිරවුම්හල් වෙත හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊට අමතරව ඉන්ධන හල්හිමියන් විසින් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල් ද වාරික 12කින් ගෙවා අවසන් කරන ලෙස සංස්ථාව දැනුම් දී තිබේ.