දික්වැල්ල කෝට්ටගොඩ ආරපොත නිවසක ටයර් සෑයක් මත බාල්කයක එල්ලෙමින් තිබු පොලිස් සැරයන්වරයකුගේ සිරුරක් පෙරේදා (08) සොයා ගත් බව දික්වැල්ල පොලීසිය පවසයි.
එසේ මරුමුවට පත්ව තිබුණි ගන්දර පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කල පොලිස් සැරයන්වරයෙකි.
සිව් දරු පියෙකු වන ඔහු ගෙල වැලලාගෙන ගෙන සිය දිවි හානි කර ගන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
පදිංචි නිවසේ කාමර දෙකකට ද ගිනි තබා තිබු බවත් සැරයන්වරයා ගේ සිරුර එල්ලෙමින් තිබු ස්ථානය යටින් ටයර් හය හතක් තිබු බවත් පොලීස් නිලධාරියෙකු කීය.
කෙසේ වෙතත් එම ටයර් ගිනි දැල්වීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබෙන බව ද කියති.
පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
මිය ගිය සැරයන්වරයාගේ බිරිද ඊට පෙර ඔහුට විරුද්ධව දික්වැල්ල පොලීසියේ පැමිණිල්ලක් කර තිබු අතර එය විභාග කිරීමට දෙදෙනාටම 08 දා උදෑසන 10.00 ට පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණි.
අදාල බිරිද ඒ සදහා පොලීසිය වෙත ගොස් සවස් වන තෙක් සැමියා එන තෙක් බලා සිට නැවත නිවසට පැමිණ බලන විට ඔහුගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබෙනු දැක පොලීසියට දැනුම් දී ඇත.
ඒ අනුව දික්වැල්ල පොලීසිය පැමිණ විමර්ශන ආරම්භ කලේය.
පසුව මහේස්ත්රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එම සිරුර මාතර මහ රෝහල වෙත රැගෙන එන ලදි.
මිය ගිය සැරයන්වරයා අවසන් දින කිහිපයේ දී අසනීප නිවාඩු වාර්තා කර රැකියාවට ද නොගොස් සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඔහුගේ සිරුර අද (09) සවස ඥාතීන් වෙත භාර දීමට නියමිතව තිබුණි.
ක්රිෂාන් ජීවක ජයරුක්