මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට මරණකරුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරා (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එසේ ඝාතනයකොට ඇත්තේ අංක 77/63 රතුකුරුසවත්ත මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි(42) වීරසුන්දර ගුණවර්ධනලාගේ හරේන්ද්‍ර කුමාර නමැති අයෙකි.
වන්වන් නයින් වෙත ලැබුණු ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයේ දී කැපුම් තුවාල සහිතව නිවසක් තුල පුද්ගලයෙකු වැටී සිටින බව තොරතුරක් ලැබුන බව පොලීසිය පැවසීය.
පොලිසිය එම ස්ථානයට ලඟා වන විටත් තුවාල සහිතව සිය නිවසේ සාලයේ වැටී සිටි පුද්ගලයා එතැනම මියගොස් සිටි බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකාරිය මොරටුව මහේස්ත්‍රාත් උද්දාහල සුවන්දුරුගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය හතළිස් අටක රැඳවුම් නියෝග ලබා ගෙන ඇත. ඇයගෙන් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
සිදු වුයේ කුමක්දැයි පොලිසිය බිරිඳගෙන් විමසා ඇති අතර ඇය පවසා ඇත්තේ පිරිසක් නිවෙසට කඩා වැදී සිය සැමියාට පහර දුන් බවය
බිරිඳ විසින් ලබා දුන් කට උත්තරයේ ඇති ආකාරයට පිරිසක් පැමිණ සිදුකළ පහරදීමක් බවට සැක කළ හැකි කිසිවක් එම ස්ථාන පරික්ෂාවේ දී හමු නොවූ හෙයින් මරණකරුගේ වයස අවුරුදු 4 දියණිය පවසනා දෙයට පොලිසිය අවධානය යොමුකොට ඇත.
තාත්තාව මීයෝ කාලා කියලා අම්මා කීවා මට තාත්ති ගෙනත් දෙන්න යැයි දියණිය හඬමින් ඉල්ලා සිට ඇත.
එකී හෝඩුවාව ඔස්සේ පොලිස් විමර්ශන මෙහෙයවමින් මරණකරුගේ බිරිඳගේ මල්ලිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මරණය සිදු කළේ තමා නොව තම අක්කා යැයි ඔහු විසින් පාපොච්චාරණය කළ බව පොලිසිය පැවසීය.
මරණය සිදුකළ බව කියන රාත්‍රිෙය් මරණකරු සමග යහන්ගත වන බව හඟවමින් බිරිඳ චිත්‍රපටියක සේ සියල්ල සැලසුම් කොට ඇති අතර ප්‍රේමාලිංගනයකට යැයි හඟවමින් ඇය මරණකරුගේ දෙඅත් සහ දෑස බැඳ සූක්ෂමව කටයුතු කොට ඇති බව පොලිසිය පැවසීය.
ඒ ආකාරයෙන් මරණකරුගේ සිතුවිලි නොමඟ යවා ගල් ඉන්නෙන් ඔහුගේ හිසට පහරදීම සිදුකොට ඇති අතර ඉන් අනතුරුව සිය සොහොයුරා කැඳවා සොහොයුරා ඉදිරියේ නැවතත් ඉදිරියේ මරණකරුගේ ගෙලට මන්න පහරක් එල්ල කොට ඇති බව පොලිසිය පැවසීය.
සැකකාරිය ඝාතනය සඳහා යොදාගත් ආයුධ සොහොයුරාට ලබා දී එය සඟවා දමන ලෙස ඉල්ලා ඇති බව පොලිසිය පැවසීය
මරණකරුගේ හිසේ සහ ගෙල ප්‍ර දේශයේ ලේ ගලන තුවාල දක්නට ලැබුණු බව සඳහන් කළ පොලිසිය පැමිණි පිරිස තමාටද පහර දුන්නේ යැයි මරණකරැගේ බිරිඳ දකුණු කොළඹ ශික්ෂරණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් වී ඇත්තේ ඇයගේම සැලසුමට අනුව බව පොලිසිය පැවසීය.
මෙම ඝාතනය පවුල් ආරවුලක් දුරදිග ගෑමෙන් සිදුවූවක් බව පොලිසිය පැවසීය. මොරටුව වැඩ බලන මහේස්ත්‍රාත් විසින් ස්ථාන පරීක්ෂාව සිදු කළ අතර මෘත දේහය පානදුර මූලිකරෝහල් මෘත ශරීරාගාරයට යැවීමට කටයුතු කර ඇත.
මෙම යුවළට වයස අවුරුදු හතරක දියණියක් සිටින බවද පොලිසිය පැවසීය.සැකකාරියව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය සැමියාගේ වියෝගය දරා ගත නොහැකි ලෙස හඬා වැටෙමින් තවත් රංගනයකින් යෙදෙනු දක්නට ලැබුණු බව පොලිසිය පැවසීය
මොරටුව රේඛා තරංගනී