මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටි 15 හැවිරිදි සිසුවියක තළාතු ඔය පොලිස් වසමේ කිරිමැටිය මාර්ගයේ සිහිසුන්ව වැටී සිටියදී පොලිස් නිලධාරීන් මැදිහත්ව සුවසැරිය ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
එම දැරිය අද (17) පාන්දර 5.30ට පමණ තළාතු ඔය පොලිස් වසමේ බෙල්වුඩ් හංදියේ සිට කිරිමැටිය ප්‍රදේශයට දිවෙන මාර්ගයේ සිහිසුන්ව වැටී සිටියදී එසේ පොලිස් නිලධාරින් මැදිහත්ව සුවසැරිය ගිලන් රථයක් මාර්ගයෙන් ගලහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
තම දියණිය නිවසෙන් අතුරුදහන් වී ඇති බවට එම සිසුවියගේ මව විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට 119 ඔස්සේද පැමිණිල්ලක් සිදු කොට ඇති බව පවසන පොලිසිය මෙම දැරිය සමග මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටි තවත් සම වයසේ සිසුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඊට ඇයගේ නිවසේ වැඩිහිටියන් නිරන්තරයෙන් දොස් පැවරීම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිවසෙන් පිටව ගියේද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කෙරෙන බවද ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය.
එම දැරියට මේ වනවිට කතා කිරීමේ අපහසුතාවයකින් පෙලෙන බවත් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කිරීමට නියමිත බවද පොලිසිය කියයි.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි තළාතු ඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.